රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ මුදල් මණ්ඩලයට?

    June, 24, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මේ වන විට ඇති වී තිබෙන පුරප්පාඩු දෙක පිරවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යෝජනා කළ නාමයන් දෙක පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (24) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

    මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරියක වූ, හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිනි ආචාර්ය රාණි ජයමහ මහත්මියගේ සහ මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන, නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ලිමිටඩ් හි සභාපති සමන්ත කුමාරසිංහ මහතාගේ නාමයන් ජනාධිපතිතුමන් විසින් මෙම පුරප්පාඩු සඳහා යෝජනා කර ඇති බව වාර්තා වේ.

    මේ වන විට මුදල් මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ලෙසින්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් (සභාපති), භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල (නිල සාමාජික) හා ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහත්වරුන් කටයුතු කරනු ලබයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් වූ නිහාල් ෆොන්සේකා මහතා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය පසුගිය මැයි 31 දින සිට බලපැවැත්වෙන පරිදි සිය ධූරවලින් ඉල්ලා අස්වීමත් සමඟ මෙම පුරප්පාඩු ඇති වූ අතර මුදල් මණ්ඩලය යළි පිහිටුවීම සඳහා රජය විසින් කරන ලද දැනුම් දීමකට අනුව මෙලෙස ඔවුන් සිය සාමාජික ධුරයන්ගෙන් ඉවත් වී ඇති බව වාර්තා විය.

    අද සවස පැවැත්වෙන රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සහභාගී වීමට නියමිත බව එහි ලේකම් හා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.