රාමා ට සංඛ්‍යාත දී නැහැ – TRC වරදින් ගූගල් ශ්‍රී ලංකාව හැර යයි?

    February, 16, 2017

    ගූගල් ලූන් ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ගූගල් ලූන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමානයේ දී එල්ල වී ඇති ඇතැම් විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අද (16) දින කැඳවන ලද මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

    “ගූගල් ව්‍යාපෘතිය ලංකාවට පැමිණියේ චමත් පලිහපිටිය හරහා. මේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවෙන් සත පහක්වත් වියදම් වුණේ නැහැ. ලංකාවට සම්පූර්ණයෙන් වයි ෆයි දෙන්න බලාපොරොත්තු වුණේ ගූගල් කියන එකෙන් නෙමෙයි. මේ දෙයින් බලාපොරාත්තු වුණේ ගූගල් ආයතනයේ අලුත් දෙයක් හඳුන්වා දීමට උත්සාහ කිරීමයි. ඒකේ නියමු ව්‍යාපෘතියක් ලංකාවේ කිරීමට උත්සාහ කළා. ඒකේ කොටස්කාරයෙක් වෙන්න තමයි අපි මැදට පැන්නේ. අපි බැලුවේ ගූගල් බැලුම හරහා එකවර මුළු ලංකාවටම 4G තාක්ෂණය දෙන්න පුළුවන්ද කියලා. අපි බැලුවේ ඉක්මනින් ගන්න පුළුවන් ජයග්‍රහණයක්. අපි පොඩි අවස්ථාවක් අරං බැලුවා.“

    “අපි අවසර ඉල්ලුවේ ගූගල් බැලූන් ‘නියමු ව්‍යාපෘතියක්‘ සඳහා. ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය අවශ්‍ය වෙනවා. මගේ අමාත්‍යාංශය අමුතු අමාත්‍යාංශයක්. මම විදුලිසංදේශ ඇමති වුණාට, විදුලිසංදේශ නියාමන කොමිසම මට අයිති නැහැ. විදුලි සංඛ්‍යාත (Spectrum) මට අදාළ වෙන්නේ නැහැ. මම නමට ඇමති වුණා කියන්නේ ඒකයි. සංඛ්‍යාත පරිහරණය කිරීම සම්බන්ධයෙන් මට අදාළත්වයක් නැහැ.“

    “රාමා කියන ආයතනය තමයි ගූගල් සමාගම ලංකාවේ කටයුතු කරන්න යොදා ගත්තේ. රාමා කියන ආයතනය සමඟ ශ්‍රී ලංකා රජය කිසිදු වාණිජ ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නැහැ. මේක නියමු ව්‍යාපෘතියක් නිසා සංඛ්‍යාතයක් දෙන්න ආණ්ඩුව එකඟ වෙලා නැහැ. මේක සාර්ථක වුණා නම් තමයි ගිවිසුමකට යන්න අවශ්‍ය වෙන්නේ.“

    “විදුලිසංදේශ නියාමන කොමිසම, ලෝක විදුලිසංදේශ සංගමයේ සාමාජිකයෙක්. එහි සාමාජිකයෙක් වීම නිසා එහි නීතිරෙගුලාසිවලට අපි එකඟ විය යුතු වෙනවා. එහිදී මෙගා හර්ට්ස් 700 සංඛ්‍යාත නිකුත් කීරීමේ නීතිමය බාධාවක් පැන නැගිලා තියෙනවා.“

    “මෙතනදී කිසිම හොර ගනුදෙනුවක් වෙලා නැහැ. ලංකාවේ කිසිදු මුදලක් මේ වෙනුවෙන් වැයවෙලා නැහැ. අපේ සංඛ්‍යාත කිටවත් අපි විකුණත් නැහැ. මේ බව කැබිනට් මණ්ඩලයට වාර්තා කර තිබෙනවා. කැබිනට් අවසරය ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් තිබෙනවා. එය වෙන රටකට ලැබෙන්න ඉඩකඩ තියෙනවා.“

    https://www.youtube.com/watch?v=qT2q6A_-22g