රැකියා ඇබෑර්තු ලක්ෂ 5 ක් ඇති බව ජනලේඛනේ කියයි

    January, 9, 2018

    රටේ විවිධ අංශයන්හි රැකියා ඇබෑර්තු 497,302ක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි.

    මෙයින් මහන මැෂින් ක්‍රියාකරුවන් 77,189ක් සඳහාද ආරක්ෂක නියාමකයින් 57,008ක් සඳහාද ඇබෑර්තු පවතින බව එම දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද 2017 ශ්‍රම ඉල්ලුම පිළිබඳ සමීක්ෂණයේ දී හෙළි වී තිබේ.

    ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසන්නේ එම සමීක්ෂණ වාර්තාව අනුව මිලියන 5.0කට ආසන්න සංඛ්‍යාවක් මේ රටේ පෞද්ගලික අංශයේ විවිධ රැකියාවල යෙදී සිටින බවයි.

    මොවුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් 'සේවා සහ විකුණුම් සේවක' කාණ්ඩයට අයත් වේ.

    මේ අතර යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණවේදීන්, ගිණුම්කරණ සහාය වෘත්තිකයින් සහ හෙද වෘත්තිකයින් සඳහා විශාල ඉල්ලුමක් පවතින බව ද එම වාර්තාවේ දැක්වේ.

    ඉදිරි මාස 12 ක කාලය තුළ විධිමත් අංශයන්හි මැහුම් සේවකයින් සහ ඇදුම් සකසන්නන් 74,000ක් පමණ සහ වාණිජ හා අලෙවි අංශයේ සේවකයින් 70,000ක් පමණ සේවයේ යෙදවීම සඳහා ඇබෑර්තු පවතින බව ද පෙන්වාදෙන සමීක්ෂණ වාර්තාව සපුරාලීමට අපහසු රැකියා පුරප්පාඩු ලෙස ඇගළුම් අංශයේ මහන යන්ත්‍ර ක්‍රියාකරුවන් හඳුනාගෙන ඇති බව ද සඳහන් කරයි.

    කණ්ඩායමක් ලෙස සාමුහිකව වැඩ කිරීමේ හැකියාව සහ වාචික සන්නිවේදන හැකියාව පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා හිමිකරගැනීම සඳහා වැඩි වශයෙන් අවශ්‍ය වන සුදුසුකම් බව මෙම සමීක්ෂණයේ දී අනාවරණය වූ බව ද අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා පවසයි.