රිචඩ් පීරිස් සමූහය වෙතින් රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් හි රුපියල් බිලියනයක ආයෝජනයක්

    October, 23, 2020

    රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි. 28,000 ක සේවක පිරිසකගෙන් යුත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය, මෑතකදී රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් හි රුපියල් මිලියන 650ක් ස්ථර I හා ස්ථර II ප්‍රාග්ධන ආයෝජනයෙහි (Tier I and Tier II capital investment) යෙදවූ බව සමූහ ව්‍යාපාරයේ මවු සමාගම නිවේදනය කළේය. රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් හි ප්‍රාග්ධනය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා මිලියන 350 ක වැඩිදුර ආයෝජනයක්ද සමූහ ව්‍යාපාරය සිදුකර ඇති අතර, එමඟින් මෙම මූල්‍ය වර්ෂයේ ස්ථර I හා ස්ථර II ප්‍රාග්ධන ආයෝජනය රුපියල් බිලියනයක් ද සමුච්චිත ප්‍රාග්ධන ආයෝජනය රුපියල් බිලියන 2.2ක් දක්වාද නංවා ඇත.

    සමූහයේ මූල්‍ය සේවා අංශයේ තවත් ප්‍රධාන උප සමාගමක් වන්නේ වසර දෙකක කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානය දිනා ගත් ආර්පිකෝ රක්ෂණ සමාගමයි. ප්‍රකාශිත තොරතුරු වලට අනුව, සමූහයේ මව් සමාගම වන රිචඩ් පීරිස් සහ සමාගම පීඑල්සී ආයතනය NDB බැංකුවේ විශාලතම කොටස් හිමියන් දස දෙනා අතුරින් එකකි.

    වසර 88 ක උරුමයක් ඇති රිචඩ් පීරිස් සමූහයේ වත්කම් පදනම රුපියල් බිලියන 72 කි. කර්මාන්තශාලා 50 කට වැඩි සංඛ්‍යාවක් රට පුරා ව්‍යාප්තව ඇති ආර්ථික බලාගාරයක් වන රිචඩ් පීරිස් සමූහය රටේ ආර්ථිකය වර්ධනය කිරීමෙහිලා ප්‍රධාන පාර්ශවකරුවෙකි. රටේ විශාලතම තේ සහ රබර් නිෂ්පාදකයා වීමේ අභිමානය ද සමූහයට ඇත. රටවල් 35 කට වැඩි ගණනකින් ඩොලර් මිලියන ගණනක් රට වෙත ගෙන එන විශාලතම අපනයන කරුවෙකු වන එහි අනුබද්ධිත සමාගමක් වන රිචඩ් පීරිස් නැචුරල් ෆෝම්ස් ලිමිටඩ් ආයතනය, වසරේ වඩාත්ම කැපී පෙනෙන අපනයනකරුවා ලෙස කිරුළු පළඳී.

    රිචඩ් පීරිස් සමූහය  දිවයිනේ එකම අති සුපිරි හයිපර් මාර්කට් වෙළඳසැල් දාමය වන ආර්පිකෝ සුපර් සෙන්ටර් පවත්වාගෙන යනු ලබන අතර එමඟින් එකම වහලක් යට ඇති විශාලතම හා අසමසම භාණ්ඩ පරාසයක් එහි වටිනා පාරිභෝගිකයින්ට ලබා දෙයි.

    COVID-19 වෛරසය පැතිරී යාම හේතුවෙන් රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ තනි පාරිභෝගිකයින්ට ලබාදුන් රුපියල් බිලියන 10 ක ණය ප්‍රමානයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද පරිදි සහන ලබාදෙන ලදී. මේ හේතුවෙන් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතවලට සුළු බලපෑමක් ඇති වූ අතර රිචඩ් පීරිස් සමූහය විසින් නව ප්‍රාග්ධනය යෙදවීමේදී  මෙම කරුණ ද සලකා බලන ලදී.