රුපියල් බිලියන 600 ක විදේශ ආයෝජන ඉලක්කයක්

    September, 30, 2017

    ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩි වැඩියෙන් ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට අපි ක්‍රියා කරනවා. ඉදිරි වසර 2 – 3 ක කාලය තුළ දී ඩොලර් බිලියන 3 ක් හෝ 4 ක්, එනම් රුපියල් බිලියන 600 ක පමණ විදේශ ආයෝජන ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මධ්‍ය ආදායම්ලාභී වෘත්තිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් පසුගිය දා (28) කොට්ටාව, කුලසෙවන වත්ත ප්‍රදේශයේ පැවති උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    කොට්ටාව, කුලසෙවනවත්ත ප්‍රදේශයේ අලූත් නිවාස සංකීර්ණයක් ආරම්භ කිරීමේ කටයුතු අද අප ආරම්භ කළා. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර නගර අමතරව වැදගත්ම නගරය වන්නේ මහරගමයි.

    මහරගම සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ වුණේ මාගේ මිත්‍ර ප්‍රේමරත්න ගුණසේකර මැතිතුමා මහරගම ජනාධිපති විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසුවයි. එවකට පැවැති පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට අමතරව මහරගම ජනාධිපති විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු මහරගම ප්‍රදේශයේ සීග්‍ර දියුණුවක් ඇති වුණා.
    ජාතික තරුණ සේවා සභාව සහ ජාතික අධ්‍යාපන ආයතනය මේ ප්‍රදේශයට ලබාදීමට මට අවස්ථාව උදාවුණා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර රෝහල මේ ප්‍රදේශයට ආසන්නයෙන් ලබාදීමෙන් නගරයකට අවශ්‍ය ප්‍රධාන පහසුකම් ගණනාවක් ඇති කිරීමට හැකි වුණා.

    නමුත් අප බලාපොරොත්තු වූ පරිදි මේ නගරයේ සැලසුම්සහගත සංවර්ධනයක් ඇති වූයේ නැහැ. එම නිසා ලබන වසරේ සිට යම්කිසි සැලැස්මකට අනුව මහරගම විශාල නගරයක් බවට පත් කිරීමට පාඨලී චම්පික රණවක ඇමැතිතුමා බලාපොරොත්තු වෙනවා. ඒ වැඩ කටයුතු සියල්ල සිදු කරන්නේ නගර සභාව ඇතුලූ ආයතන විසිනුයි.

    අද ආරම්භ කරන මේ ව්‍යාපෘතිය, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කොළඹ දිස්ත්‍රික්කයේ ආරම්භ කරන 5 වැනි නිවාස ව්‍යාපෘතියයි. පාඨලී චම්පික රණවක ඇමැතිතුමා සඳහන් කළ ආකාරයට මේ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 18 ක මුදලක් රජය වෙන් කර තිබෙනවා.

    අද නිවාස සඳහා රටේ විශාල ඉල්ලීමක් තිබෙනවා. රට දියුණු වන විට, රටේ ආර්ථිකය දියුණු වන විට, තමන්ගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි වන විට, මේ අවට තිබෙන ඉඩම්වල වටිනාකම වැඩි වෙනවා. ඇතැම් අයට තමන්ගේ අක්කර භාගයේ හෝ පර්චස් 40 ඉඩම විකුණා, නිවසක් ඉදිකරගෙන ඉතිරි මුදල් වෙනත් කටයුත්තකට යොදවාගත හැකියි. තවත් පිරිසක් විදේශගත වී රැකියා කරමින් මුදල් උපයන විට පිරිසක් මෙරට සිට ව්‍යාපාර කරමින් මුදල් උපයනවා. අනෙක් පිරිස රැකියා කර ලබන වැටුපෙන් මුදල් ඉතිරි කරගන්නවා.

    අද මේ රටේ මධ්‍යම පන්තිය ව්‍යාප්ත වන විට, වැඩ කරන ජනතාව අත යහමින් මුදල් ගැවසෙන විට නිවාස සඳහා විශාල ඉල්ලීමක් ඇති වෙනවා. අද වන විට නාගරික ප්‍රදේශවල පවතින නිවාස ඉල්ලීම සපුරාලීම වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබදව පාඨලී චම්පික රණවක අමාත්‍යතුමාට මා ප්‍රශංසා කරනවා. මෙවැනි ව්‍යාපෘති හරහා පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ මධ්‍ය ආදායම් ලාභී වෘත්තිකයන්ට නිවාස ලබා ගැනීමේ අවස්ථාව ඇති කර තිබෙනවා.

    පාඨලී චම්පික රණවක අමාත්‍යතුමා, බස්නාහිර පළාත මහ නගරයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගනිමින් සිටිනවා. ඉදිරි වසර 10 – 15 ක කාලය තුළ අපේ රටේ සහ ඉන්දීය සාගර කලාපයේ ඇති වන දියුණුවත් සමඟ මේ බස්නාහිර පළාතට විශාල මහ නගර කිහිපයක අවශ්‍යතාව ඇති වෙනවා. දිවුලපිටියේ සිට බේරුවල දක්වා පහසුකම් ලබාදීමේ වැඩසටහන් ආරම්භ කරන්නේ ඒ අනුවයි. අපට ඉදිරියට යාමට තිබෙන්නේ මේ ඇති කරන අඩිතාලම මතිනුයි. බස්නාහිර පළාතට පමණක් නොව, ශ්‍රී ලංකාවටම අවශ්‍ය වී තිබෙන මහ නගරය ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම මෙරට ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනවා. මධ්‍යම පාන්තිකයන්ට පමණක් නොව, යුද්ධය හේතුවෙන් විනාශයට පත්වූ උතුරේ ජනතාව වෙනුවෙන් ද නිවාස ඉදිකළ යුතුයි. ඒ වගේම වතුකරයේ බිම් අඟලක හෝ අයිතිය නොමැතිව සිටින ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා මේ වන විටත් ඉඩම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ග්‍රාමීය ජනතාවට, නාගරික මධ්‍යම පාන්තික ජනතාවට, වැඩකරන ජනතාවට, නාගරික පැල්පත්වල ජීවත් වන අඩු ආදායම්ලාභී ජනතාවට ද නිවාස අවශ්‍යතාව තිබෙනවා. අපි අලූතින් මේ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ ඒ සියලූ දෙනාගේ නිවාස ඉල්ලීම සපුරාලීම සඳහායි.

    යුද්ධය හේතුවෙන් උතුරේ නිවාස අහිමිවූවන්ට, වතුකරයේ ජනතාවට, ග්‍රාමීය ජනතාවට, මධ්‍යම පාන්තිකයන්ට සහ අඩු ආදායම්ලාභීන්ට නිවාස ලබාදීම සඳහා විශාල වැඩසටහනක් අප ආරම්භ කර තිබෙන බව සිහිපත් කළ යුතුයි. මේ වැඩසටහන යටතේ ඉදිරි වසර දෙක තුනක කාලය තුළ දී ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා තමන් කැමති නිවසක් මිලදී ගැනීම සඳහා සහනදායී ක්‍රමයක් අනුව ණය ලබාදීමට ද අප බලාපොරොත්තු වෙනවා. අනෙක් පැත්තෙන් අඩු ආදායම්ලාභීන්ට සහ ග්‍රාමීය ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා මුදල් ලබාදීමට කටයුතු කරනවා. මේ ආකාරයට දැවැන්ත නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් අප ඉදිරියට ක්‍රියාත්මක කරනවා.

    එම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුව සහිත ශිල්පීන් සිටිය යුතුයි. අද වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල මානව සම්පත්වල හිඟයක් තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බාධාවක් වී තිබෙන්නේ එම මානව සම්පත් හිඟයයි. ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ශිල්පීය දැනුම, යාන්ත්‍රික දැනුම සහ පුහුණුව සහිත මිනිස් බලය ලබාදීමට අප ක්‍රියා කරනවා.

    ඇතැම් අය ටික කලක් මෙරට සේවය කිරීමෙන් පසුව විදේශ ගත වී ඉහළ වැටුප් ලබා ගන්නවා. නමුත් අද වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීය දැනුමක් ලබා ගන්නවා නම් පහසුවෙන් මුදල් උපයා ගත හැකියි. එම ශිල්පීන් සහ සේවකයන් තවත් ශක්තිමත් කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් සම්බන්ධයෙන් අප මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව සිහිපත් කරන්න කැමතියි.

    අපට මේ සියලූ කටයුතු සිදු කිරීමට හැකි වී තිබෙන්නේ අද වන විට මේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා තිබෙන නිසයි. 2015 වර්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර, එම ජනාධිපතිවරණය ජය ගෙන අපි සියලූ දෙනා ඒකරාශී කරගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාව වන විට අපට විශාල ණය බරක් දැරීමට සිදුව තිබුණා. එකල රටේ ආදායමට වඩා වාර්ෂික ණය සහ පොලී ගෙවීම් වැඩි වී තිබූ අතර එය ආණ්ඩුවකට මුහුණදීමට නොහැකි තත්ත්වයක් බව කිව යුතුයි.

    එවකට පැවැති ආණ්ඩුව සහ ජනාධිපතිවරයා, තමන්ගේ වසර 6 ක පාලන කාලය අවසන් වීමට පෙර 2015 ජනවාරි මාසයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වූයේ එම තත්ත්වයට මුහුණදීමට නොහැකි වූ නිසයි. එම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගියා නම් එමගින් තමන්ට අවාසි සහගත තත්ත්වයක් උදා වන බව ඔවුන් කල්පනා කළා.

    අප මේ ආණ්ඩුව බාර ගන්නා අවස්ථාවේ දී බොහෝ අය සිතුවේ අපට බොහෝ කලක් ආණ්ඩු කිරීමට නොහැකි වන බවයි. රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන්ම ආණ්ඩුව කඩා වැටෙනු ඇතැයි ඔවුන් කල්පනා කළා. නමුත් අපි සියලූ දෙනා ඒකරාශී වී ජාතික ආණ්ඩුවක් ඇති කර ගෙන ආර්ථිකය ගොඩනගන වැඩසටහන ක්‍රියාත්මක කළා.

    2015 සහ 2016 අපට අමාරු වර්ෂ දෙකක්. නමුත් කෙසේ හෝ අපි අපේ ආදායම් වැඩි කර ගත්තා. එමගින් අද වන විට අපේ ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති වී තිබෙනවා. අපේ වාර්ෂික ණය සහ පොලී ගෙවීම්වලට වඩා ආදායම වැඩි කර ගෙන තිබෙනවා. කෙසේ නමුත් අපට තවදුරටත් ණය ගැනීමට සිදුවී තිබෙනවා. අයෝජන හරහා විදේශ විනිමය වැඩි කරගනිමින් අපේ ජාතික ධනය වැඩි කර ගෙන එම ණය ගෙවිය හැකි තත්ත්වයකට පැමිණීම අපේ බලාපොරොත්තුවයි.

    හම්බන්තොට වරායේ ණය ගෙවීම සම්බන්ධයෙන් අපට විශාල ප්‍රශ්නයකට මුහුණදීමට සිදුව තිබුණා. නමුත් අප ගත් ක්‍රියාමාර්ග නිසා අද එම ණය බරින් ගැලවීමට අපට හැකි වී තිබෙනවා. මත්තල ගුවන්තොටුපොළට ද එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එමගින් ඒ ණය බර බොහෝ දුරට සීමා කර ගැනීමට අපට හැකි වෙනවා. පාඨලී චම්පික රණවක අමාත්‍යතුමා සඳහන් කළ පරිදි, මේ වසරේ දී ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වුණත් අපට නියගයට මුහුණදීමට සිදුවුණා. ඒ වගේම මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමට, මහා ගංවතුරකට සහ ඩෙංගු රෝගයට ද මුහුණදීමට සිදු වුණා.

    එවැනි බාධක හමුවේ ද දැනට 3.9% ක ආර්ථික වර්ධන වේගයක් ලබාගැනීමට අපට හැකි වී තිබෙන අතර වසර අවසානය වන විට එය ඊටත් වඩා වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

    අපි අනාගතය ගැන සිතිය යුතුයි. අනාගතයේ දී විශාල සංවර්ධනයක් ඇති කර ගැනීම ගැන සිතිය යුතුයි. ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩි වැඩියෙන් ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට අපි ක්‍රියා කරනවා. ඉදිරි වසර 2 – 3 ක කාලය තුළ දී ඩොලර් බිලියන 3 ක් හෝ 4 ක්, එනම් රුපියල් බිලියන 600 ක පමණ විදේශ ආයෝජන ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. දේශීය වශයෙන් අපේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්, මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සහ කුඩා ව්‍යාපාරිකයන් දිරිගැන්වීම සඳහා වෙනම වැඩසටහනක් ඇති කරනවා. ඒ අනුව විදේශ ආයෝජන සහ දේශීය ආයෝජන ලබාගෙන හොඳ අනාගතයක් ඇති කිරීමට කටයුතු කරනවා. එහිදී අපේ ආර්ථිකය තවත් ශක්තිමත් වීමට නියමිතයි.

    එසේ නම් අද අප කැප වී සිටින්නේ ඔබට ශක්තිමත් ආර්ථිකයක් ලබාදීමටයි. අප මේ වසරේ මුහුණ දුන් ප්‍රශ්න හා බාධක දෙස බැලූ විට අපේ ආර්ථිකය කඩා වැටෙනු ඇතැයි බොහෝ අය සිතුවා.

    නමුත් කෙසේ හෝ ආර්ථිකය කඩා වැටීමට නොදී ආර්ථිකයේ ස්ථාවර භාවය ආරක්‍ෂා කර ගැනීමට අපට හැකි වුණා. ඉදිරි වසර දෙකේ දී තවත් ණය ගෙවීමට තිබුණත්, එම ණය ගෙවමින් පුද්ගලික ආයෝජන මගින් මේ රටේ ආර්ථික වර්ධන වේගය තව තවත් වැඩි කර, රැකියා සහ ආදායම් වැඩි කර ගැනීමට අප ක්‍රියා කරන බව අවධාරණය කරනවා.