රුපියල අදත් බාල්දුයි – ඩොලරය රු. 162 ඉක්මවන බවට වෙළෙඳුන් කියයි

    June, 8, 2018

    එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම අගය රුපියල් අද (08) වාර්තා විය. ඒ ඊයේ (07) දිනයේ දී වාර්තා වූ අගය අභිබවමිනි.

    මේ අනුව අද (08) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 157.0804 ක් හා විකුණුම් මිල රු. 160.1770 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහන පෙන්වා දේ.

    අද දිනයේ දී නිරූපිත එතැන් එක්සත් ජනපද ඩොලරයේ විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange Rate - LKR per 1 USD) රු. 158.8323 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුටත් සඳහන් කර සිටී.

    2018 වසරේ මේ දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 3.5% කින් අවප්‍රමාණය වී තිබේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විනිමය වෙළෙඳුන් (currency dealers) කියා සිටින්නේ මේ වන විට විට වෙළෙඳපොළේ කිසිවකුත් ඩොලර් අලෙවි කරන්නේ නැති බවයි. එසේම ඇතැම් බැංකු විසින් ඩොලර් මිල දී ගැනීම සඳහා සූදානමින් පසුවන බව ද විනිමය වෙළෙඳුන් ප්‍රකාශ කර සිටී.

    තවද මෙම වසර අවසාන වන විට ඩොලරයක මිල රු. 162 ත් රු. 163 ත් අතර වනු ඇතැයි අපේක්ෂා කරන බව විනිමය වෙළෙඳුන් වැඩිදුරටත් සඳහන් කරයි.

    ඊයේ (07) දිනයේ දී රොයිටර් පුවත් සේවය පළ කළ වාර්තාවක මේ බව සඳහන් වේ.