රුපියල තවදුරටත් නිදහසේ පාවෙන්නට ඉඩ දිය යුතුයි – IMF අවධාරණය කරයි

    June, 21, 2018

    රුපියල තවදුරටත් නිදහසේ පාවීමට ඉඩ දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධානී මැනුඑලා ගොරෙටි මහත්මිය පවසයි. ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක දී අය මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධානී මැනුඑලා ගොරෙටි මහත්මිය කියා සිටියේ, අනෙකුත් නැගී එන වෙළෙඳපොළ හා සැසඳීමේ දී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති මට්ටම පහළ අගයයක් බවයි. ප්‍රාග්ධන ගලා යාම් ආරක්ෂණය සඳහා ප්‍රධාන වශයෙන් ගත යුතු පියවර අතර ප්‍රමුඛතාවය නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තියට හිමිවන බව ඇය මෙහිදී අවධාරණය කළාය.

    “ශ්‍රී ලංකාව හා අනෙකත් රටවල් අතර වෙනස්කමක් නිර්මාණය කිරීමට අපට අවශ්‍ය නැහැ. ඇති වී තිබෙන පීඩනය හමුවේ විනිමය අනුපාතිකය නිදහසේ තීරණය වන්නට ඉඩ දිය යුතුයි. ඇති විය හැකි සීමාව ඉක්මවා ගිය උච්ඡාවචනයන් තුනී කිරීමට මහ බැංකුවට කටයුතු කරන්න පුළුවන්. මෙම පරිශ්‍රමයන් තුළින් ෆිස්කල් අංශයේ දියුණුවක් හා ආයෝජකයින්ගේ විශ්වාසය වැඩිදියුණු කිරීමක් කළ හැකියි“, යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 158.11 ක් හා විකුණුම් මිල රු. 161.31 ක් ලෙසින් සටහන් වී තිබේ. මෙය ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් නියම වී තිබෙන ඉහළම රුපියල් අගය වේ.