රු.මි. 128 ක සෙලාන් කොටස් විදේශිකයින් අතට. මෙන්න! අද කොටස් පොළේ රැළි

    May, 7, 2014

    අද කොළඹ කොටස් වෙළඳ පොළ මිල දර්ශක දෙකම ඉහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 26.47 කින් ඉහළ ගොස් ඒකක 6,252.60 ක්ද, එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 9.83 කින් ඉහළ ගොස් ඒකක 3,433.95 ක්ද විය.

    ලංකා දුම්කොළ සමාගමේ කොටසක් අද සියයට 1.5 කින් ඉහළ ගොස් රුපියල් 1,099.50 ක්ද, ආසිරි හොස්පිට්ල්ස් කොටසක් සියයට 5.2 කින් ඉහළ ගොස් රුපියල් 22.40 ක්ද, ජෝන් කීල්ස් හොටෙල්ස් කොටසක් සියයට 4.4 කින් ඉහළ ගොස් රුපියල් 14.10 ක්ද වී තිබේ.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියනයකි. අද ගිවිසගත් ගනුදෙනු (crossings) හතරක් වාර්තා වූ අතර සෙලාන් බැංකුවේ කොටස් මිලියන 1.97 ක් කොටසක් රුපියල් 67 බැගින්ද, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කොටස් මිලියන 0.4 ක් කොටසක් රුපියල් 235 ක් බැගින්ද, සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් කොටස් මිලියන 02 ක් කොටසක් රුපියල් 12 ක් බැගින්ද, රෝයල් සෙරමික්ස් කොටස් මිලියන 0.2 ක් කොටසක් රුපියල් 106 බැගින්ද හුවමාරු වී ඇත.

    අද වෙළඳ පොළ පිරිවැටුමෙන් සියයට 27 ක් සඳහාම දායකත්වය ලබාදී තිබෙන්නේ ගිවිසගත් කොටස් ගනුදෙනු වීම කැපී පෙනේ. දිනයේ වෙළඳ පොළ පිරිවැටුමට රුපියල් මිලියන 175 කින් වැඩිම දායකත්වයක් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම ලබාදෙද්දී රෝයල් සෙරමික්ස් රුපියල් මිලියන 154 කින්ද, සෙලාන් බැංකුව රුපියල් මිලියන 135 කින්ද දායකත්වයක් ලබාදී තිබේ.

    අද ආයෝජකයින් වඩාත් උනන්දුවක් දැක්වූ අනිකුත් කොටස් ලෙස Grain Elevators, Softlogic Holdings සහ Three Acre Farms දැක්විය හැකිය.

    විදේශීය ආයෝජකයින් අද වැඩිපුර කොටස් මිලදී ගනිමින් රුපියල් මිලියන 270 ශුද්ධ මිලදී ගැනීමක් කර තිබෙන අතර විදේශීය සහභාගීත්වය සියයට 27 කි. විදේශීය ආයෝජකයින් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි, රුපියල් මිලියන 156 ක් වටිනා කොටස්ද, සෙලාන් බැංකුවේ රුපියල් මිලියන 128 ක් වටිනා කොටස්ද, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් මිලියන 30 ක් වටිනා කොටස්ද මිලදී ගත් අතර රෝයල් සෙරමික්ස් සමාගමේ රුපියල් මිලියන 21 ක් වටිනා කොටස් විකුණා දැමීය.

    මේ අතර, රිචඩ් පීරිස් සමාගම විසින් අද ආරම්භ කළ ණයකර නිකුතුවට ඉතාමත් ඉක්මනින්ම අධි ඉල්ලුමක් ඇතිවීම කැපී පෙනේ.