රු. 21,500 කින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

    October, 13, 2021

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කර ඇති 2021 අගෝස්තු දත්තවලට අනුව එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව දැරීමට සිදුව ඇති අවම වියදම රු. 5,353 ක් බව සඳහන් කර ඇත. මේ අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලකට දරිද්‍රතාවයට පත් නොවී සිටීමට අවම වශයෙන් රු. 21,500 ක මාසක ආදායමක් තිබිය යුතු වේ.

    කෙසේ වෙතත් මෙය යල්පැන ගිය දර්ශකයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා අද දෙරණ වෙත කියා සිටියේය.

    ශ්‍රී ලංකාව දරිද්‍රතාවය මනිනු ලබන්නේ 2000 වසරේ දී අත්‍යාවශ්‍ය යැයි සලකනු ලැබූ භාණ්ඩ පැසක් අනුව බවත් වසර 20 කට පසු අද වන විට එම අත්‍යාවශ්‍ය භාණ්ඩ පැස වෙනස්විය යුතු බවත් ඔහු මෙහිදී කියා සිටියේය. එබැවින් අද වන විට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන පරිදි 4 දෙනෙකුගෙන් යුතු පවුලකට දරිද්‍රතාවයට පත් නොවී සිටීමට රු. 21,500 ආදායමක් ප්‍රමාණවත් නොවන බවත් එය යල්පැන ගිය මිනුම් දණ්ඩක් බවත් අචාර්ය දුනුසිංහ‌ මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    "ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මේ වර්ෂයේ අගෝස්තු මාසයේ දත්ත අනුව 4 දෙනෙක්ගෙන් යුතු සාමාන්‍ය පවුලකට දරිද්‍රතාවට නොවැටී සිටීමට නම් අවම වශයෙන් මාසෙකට රු. 21,500 ක ආදායමක් පැවතිය යුතු වෙනවා.  විශේෂයෙන්ම වසංගතයත් එක්ක ආදායම් මාර්ග අහිමිවෙලා තියෙන, රැකී රක්ෂා අහිමි වෙලා තියෙන පිරිසට ඒ මිල ඉහළ යාම ඉතාමත්ම දරුණු විදියට බලපානවා. ඒ බලපෑම රජය කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද කියන කාරණය අද සමාජය හමුවේ තිබෙන ප්‍රධාන ගැටළුවක්."

    "2000 වසරේ දී අත්‍යාවශ්‍ය යැයි භාණ්ඩ හා සේවා තොගයක් සම්බන්ධයෙන් තමයි මේ රු. 21,500 ගණනය කරන්නේ. අද මේ වසර 20කට පසු ඇත්තටම අත්‍යාවශ්‍ය භාණ්ඩ පැස මීට වඩා සැලකිය යුතු විදියට වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව පැහැදිලි වෙන දේ තමයි ඒ අත්‍යාවශ්‍ය වන්නාවූ භාණ්ඩ පැස ලබා ගැනීම සඳහා ඇත්තටම 21,500 නෙමෙයි රු. 30,000 ක පමණ ආදායමක් ලැබිය යුතු වෙනවා. අපි මේ දුප්පත්කම මනින්නේ යල්පැන ගිය දර්ශකයකට අදාළව."

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව දැරීමට සිදුව ඇති අවම වියදම් සටහන එක් එක් දිස්ත්‍රික්කය අනුව සහ ජාතික සාමාන්‍ය අගය පහතින් දැක්වේ.