රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් දෙකකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

    July, 9, 2026

    රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූලි 06) පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවේදී ඉහත තීරණය ගනු ලැබීය.

    ඒ අනුව, (235 අධිකාරිය වූ) රේගු ආඥා පනත යටතේ අංක 2478/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2478/04 හා 2479/38 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් කාරක සභාව විසින් සලකා බලන ලදී. මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු  සහභාගිවී සිටියහ.

    ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන 2026 අයවැය යෝජනාව පරිදි මෙරටට ආනයනය කරන භාණ්ඩ මත ක්‍රියාත්මකව පැවතී පැවතී 0%, 15% සහ 20% වන රේගු ආනයන බදු අනුපාතයන් 0%, 10%, 20%  සහ 30% ලෙස කාණ්ඩ හතරක් වන පරිදි 2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීම  මේ අනුව සිදුවේ.

    මෙම සංශෝධන හුදෙක් බදු අනුපාත වෙනස් කිරීමක් නොව, ඉදිරි දශකය සඳහා රටේ වෙළෙඳ හා ආයෝජන පරිසරය හැඩගස්වන ජාතික තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ආරම්භය බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. විද්‍යාත්මක හා පුරෝකථනය කළ හැකි තීරුබදු ව්‍යුහයක් ස්ථාපිත කිරීම මඟින් ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් දාමයන් සමඟ වඩාත් කාර්යක්ෂමව සම්බන්ධ කිරීම මෙම ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ බව  නිලධාරීහු පැහැදිලි කළහ.

    මෙම ප්‍රතිපත්තිය යටතේ, එක්සත් ජාතීන්ගේ පුළුල් ආර්ථික වර්ගීකරණය (BEC Revision 5) පදනම් කරගත් නව සිව්-වැදෑරුම් තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට යෝජනා කර ඇති අතර, එමඟින් HS කේත රැසක් ප්‍රතිසංවිධානය කිරීමට නියමිතය. ප්‍රාග්ධන භාණ්ඩ, අතරමැදි භාණ්ඩ, සංවේදී අතරමැදි භාණ්ඩ සහ පාරිභෝජන භාණ්ඩ යන ප්‍රධාන කාණ්ඩ හතර යටතේ නව බදු ව්‍යුහය ක්‍රියාත්මක කෙරෙන අතර, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සහ රාජ්‍ය ආදායම් ස්ථාවරව පවත්වා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහනයක් ලබාදීමේ අරමුණින් ටයිල් සඳහා දැනට පවතින 85-90%  ඉහළ ඵලදායී බදු අනුපාතය 2029 වන විට පියවරෙන් පියවර 20% දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය විය. එමඟින් ඉදිකිරීම් පිරිවැය අඩුවී නිවාස හා යටිතල පහසුකම් ආයෝජන සඳහා ධනාත්මක බලපෑමක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    දේශීය කර්මාන්තවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් විවිධ ක්ෂේත්‍ර සඳහා නව ජාතික උප-බෙදුම් හඳුන්වාදීමට ද යෝජනා කර තිබේ.

    තවද, 2029 වන විට CESS සහ PAL වැනි පැරා තීරුබදු ක්‍රමානුකූලව ඉවත් කර  සරල තීරු බදු ක්‍රමයක් කරා ගමන් කිරීම රජයේ ඉලක්කය බවද නිලධාරීහු පෙන්වා දුන්හ. බදු ලිහිල් කිරීමත් සමඟ ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත හැකි පියවරයන් පිළිබඳව ද කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.

    මෙම බදු ප්‍රතිසංස්කරණ මඟින් ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 18 සිට බිලියන 36 දක්වා දෙගුණ කිරීමේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය සපුරා ගැනීමට සහාය වනු ඇති බවද සඳහන් විය. විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ, රබර් නිෂ්පාදන, ඖෂධ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඒකාබද්ධ වීම සඳහා මෙම ප්‍රතිපත්තිය වැදගත් පදනමක් වනු ඇතැයි ද ප්‍රකාශ විණි.

    එමෙන්ම, වෙළෙඳ දත්ත යාවත්කාලීන කිරීමේ ප්‍රමාදය පිළිබඳවද කාරක සභාව දැඩි අවධානය යොමු කළේය. වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සතු වෙළෙඳ දත්ත 2021 වසරෙන් පසු යාවත්කාලීන වී නොමැති බව සභාපතිවරයාගේ අවධානයට ලක් වූ අතර, දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය සියලු වෙළෙඳ දත්ත සහ අදාළ තොරතුරු සතියක් ඇතුළත යාවත්කාලීන කරන ලෙස අදාළ නිලධාරීන්ට කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.

    මෙම ගැසට් නිවේදන ඊයේ (08) පාර්ලිමේන්තුවේ  විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමැතිය ලබා ගැනීමට ගැනීමට නියමිතය.

    නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.