රේණුකා, SLS සහතිකයෙන් පිදුම් ලැබූ ප්‍රථම හා එකම පිටිකළ පොල්කිරි සන්නාමය බවට පත්වෙයි

    November, 13, 2015

    රේණුකා පිටිකළ පොල්කිරි යනු මේ වනවිට මෙරට වෙළඳපොළේ ඛෙහෙවින් ජනප්‍රිය නිෂ්පාදනයකි. උසස් ප්‍රමිතිය සහ පහසුවෙන් මිලදීගත හැකි වීම යනාදී කරුණු රැසක් මේ ජනප්‍රියත්වයට හේතු වී ඇත. එහි උසස් තත්ත්වය පිළිබඳව ජනතාව තබා ඇති විශ්වාසය තවදුරටත් සහතික කරමින් මෙරට SLS සහතිකයෙන් පිදුම් ලැබූූ ප්‍රථම පිටිකළ පොල්කිරි බවට පත්වීමට රේණුකා පිටිකළ පොල්කිරි පසුගියදා සමත් විය. නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී රේණුකා පිටිකළ පොල්කිරි වෙළඳ නාමය වෙත මෙම සහතිකය පිරිනමන ලද අතර ඒ සඳහා එම ආයතනයේ නිලධාරීන් සහ රේණුකා ඇග්‍රි ෆුඩ්ස් සමාගමේ සමාජයන් පිරිසක්ද සහභාගී විය.

    SLS ලාංඡනය යනු මෙරට පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු කිසියම් නිෂ්පාදනයක උසස් බව සහතික කරන ලාංඡනයක් ලෙස අවිවාදයෙන් පිළිගනියි. සාමාන්‍යයෙන් වැඩි පහසුව ලබාදීම අරමුණු කරගෙන සකස් කර ඇති නිෂ්පාදන සඳහා යොදනු ලබන කල්තබාගැනීමේ ද්‍රව්‍ය, කෘත්‍රිම වර්ණක හා රසකාරක නිසා සෞඛ්‍ය ගැටලූ පැනනගින බව වර්තමානයේ බහුලව සාකච්ඡා වෙමින් පවතී. එහෙත් රේණුකා පිටිකළ පොල්කිරිවල මේ කිසිවක් අඩංගු නොවන අතර එය සියයට සියයක්ම උසස් තත්ත්වයේ දේශීය නිෂ්පාදනයක් බව එයට SLS සහතිකය හිමිවීමෙන් පැහැදිලි වේ. මෙම ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන පවතින බව සහතික කරගැනීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂාවන් සිදුකරන කරන අතර නොදන්වා කරන පරීක්ෂණ සහ කර්මාන්තශාලාවෙන් ලබාගත් සාම්පල පරීක්ෂාවට ලක්කිරීම ආදියද සිදුකිරීම විශේෂත්වයකි.

    “රේණුකා ඇග්‍රි ෆුඩ්ස් සමාගමේ නිෂ්පාදන සිදුකෙරෙන කර්මාන්තශාලාවට පූර්ණ ප්‍රමිති පද්ධති සහතිකකරණය හිමිවීම මගින් එය SLS සහතිකය දිනාගැනීම සඳහා අනුගමනය කළ යුතු දැඩි ක්‍රමවේද සියල්ල සතුටුදායක ලෙස ඉටුකරන බව පැහැදිලිව තහවුරු වනවා. අද වෙළඳපොළේ පවතින පිටිකළ පොල්කිරි වර්ග අතරින් SLS සහතිකය හිමිවූ එකම පිටිකළ පොල්කිරි වර්ගයත් එයයි. ලොව පුරා පාරිභෝගිකයන්ට උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන හිමිවන බවට තහවුරු කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සතු වගකීමක්. එදිනෙදා පෝෂ්‍යය ආහාරවේලක අංග ලෙස උසස් නිෂ්පාදන විශ්වාසයෙන් යුතුව තෝරාගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දීමට හැකිවීම ගැන අප ඛෙහෙවින් සතුටු වනවා". ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ලලිත් සේනවීර මහතා පැවසී ය.

    “ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල ප්‍රමිතිය සහතික කරන ප්‍රධානතම ආයතනය ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි. ඒ නිසා එම ආයතනයෙන් පිරිනමනු ලබන SLS සහතිකය හිමිකරගැනීමට ලැබීම අපට විශාල ගෞරවයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. රේණුකා යනු සියයට සියයක්ම ශ්‍රී ලාංකික සමාගමක්. අපේ නිෂ්පාදන උසස්ම තත්ත්වයේ දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බවටත් ඉතාමත් පිරිසිදු තත්ත්වයන් යටතේ උසස් බව ආරක්ෂා වන පරිදි නිෂ්පාදනය කෙරෙන බවත් අපි ඔබට සහතික වෙනවා“, රේණුකා ඇග්‍රි ෆුඩ්ස් සමාගමේ ජාත්‍යන්තර අලෙවි සන්නාම ප්‍රධානී දර්ශිකා ජයසේකර මහත්මිය පැවසුවා ය.

    අද දවසේ පාරිභෝගිකයෝ නිෂ්පාදන තෝරාගන්නා විට පහසුව පිළිබඳව දැඩි අවධානයක් යොමුකරති. ජීවන රටාව, රැකියාව හා ගෙදර දොර ඉඩ පහසුකම් ආදී හේතූන් මත ඔවුහු භාවිතයට සූදානම් ලෙස සකසා ඇති නිෂ්පාදන මිලදීගැනීමට වැඩි නැඹුරුවක් දක්වති. මේ බව වටහාගත් රේණුකා සමාගම 2005 වසරේදී පොල් ආශ්‍රිත නිෂ්පාදන වර්ග පෙළක් මෙරට වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු කළ අතර ඒවා මේ වනවිට ජනප්‍රිය පොල්කිරි ආශ්‍රිත නිෂ්පාදන බවට පත්වෙමින් තිබේ.

    වතුපිටිවල අපනයන සැකසුම් කලාපය තුළ පිහිටා ඇති රේණුකා පිටිකළ පොල්කිරි නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලාවට ISO 22000 - GMP, British Retail Consortium (BRC) සහ London Bethdin Kosher සහතිකකරණය ආදී ප්‍රමිති සහතිකද හිමිවී ඇත. එය එම කර්මාන්ත ශාලාව තුළ අනුගමනය කරනු ලබන ක්‍රමවේදවල උසස් බව හා සෞඛ්‍යාරක්ෂිත බව ආදිය මනාව සහතික කරයිි. මේ වනවිට රේණුකා සන්නාමය යටතේ එන නිෂ්පාදන ලොව රටවල් 27 කට වඩා අපනයනය කෙරෙන අතර ඉදිරියේදී රටවල් රැසකට පිවිසීමට සමාගම බලාපොරොත්තු වේ.

    ඡායාරූපය: ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්යලලිත් සේනවීර මහතා (මැද) රේණුකා පිටිකළ පොල්කිරි නිෂ්පාදන සඳහා හිමිවූ SLS සහතිකකරණය රේණුකා ඇග්‍රි ෆුඩ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ වසන්ත කුමාර් ෂන්මුගම් මහතා (වම) සහ අධ්‍යක්ෂ (තත්ත්ව සහතිකකරණ) රංගිකා විජේසූරිය මහත්මිය (දකුණ) වෙත පිරිනැමූ අවස්ථාව.