රෝහල් රෙදි පවිත්‍රතා ව්‍යාපෘතිය යෝජිත එට්කා ගිවිසුමට සම්බන්ධ නැහැ

    March, 6, 2018

    බස්නාහිර පළාතේ රෝහල්වල ශල්‍යකර්ම සදහා සහ රෝගීන් භාවිතා කරන රෙදි නවීන තාක්ෂණය ඔස්සේ විෂබීජ විනාශ කරමින් පිරිසිදු කිරීම සදහා ආරම්භ කළ ව්‍යාපෘතිය යෝජිත එට්කා ගිවිසුමට කිසිසේත්ම අදාල නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මෙම ව්‍යාපෘතිය BOT ක්‍රමයට අයත් ව්‍යාපෘතියකි. ස්ථාපිත, ක්‍රියාකාරී හා නැවත බාරදීම යන ත්‍රිත්වයට අයත් මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක ආයෝජනයකි. ශ්‍රී ලංකා රජයේ කිසිදු වියදමක් ව්‍යාපෘතිය සදහා වැය වන්නේ නැත. අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරිම, යන්ත්‍ර සූත්‍ර සවි කිරීම, ආයෝජකයින්ගේ වියදමින් සිදු කරනු ලබයි. ඉන්දීය සුග්‍රාම් හොස්පිටල් සොලුෂන් පෞද්ගලික සමාගමේ ශ්‍රී ලංකා අනුබද්ධ සමාගම මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

    දැනට එංගලන්තයේ වෛද්‍ය වෘත්තියේ නිරත විශේෂඥ වෛද්‍ය ශෂී බාලේන්ද්‍රන් මහත්මිය මෙම සමාගම්වල ප්‍රධාන හිමිකාරිය වන අතර, එම සමාගම විසින් තවත් රෙදි පවිත්‍ර කිරීමේ ව්‍යාපෘති ලොව රෝහල් රැසක පවත්වාගෙන යයි. වසර 03 ක කාලයක් එකම මිල ගණන් යටතේ බස්නාහිර පළාතේ රෝහල්වල රෙදි පවිත්‍ර කිරිමට ගිවිසුම් ගත වී තිබේ.

    ඉන් පසු වසර තුනෙන් තුනට මිල ගණන් සංශෝධනය වන අතර, වසර 15 කට පසු නව තාක්ෂණය යටතේ යාවත්කාලීන කර ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදීමට නියමිතය. රෝගීන් භාවිතා කරන සහ ශල්‍ය කර්ම සදහා භාවිත කරන රෙදි සියල්ලම විෂබීජ විනාශ කරමින් යළි රෝග පැතිරීම වැළැක්වීමේ ක්‍රමවේද ද ඇතුලත් නවීන තාක්ෂණයෙන් යුත් මෙම ව්‍යාපෘතිය මගින් යන්ත්‍රාණු සාරයෙන් රෙදි පවිත්‍ර වී මැද පසුව ආවරණයකින් යුතුව රෝහල් කරා ප්‍රවාහනය කරනු ලබයි. ඒ විෂබීජ ජීවානුහරණය කරන ලද ලොරි රථ මගිනි. වර්තමානයේ රෝහල්වල කොන්ත්‍රාත් ක්‍රමයට රෙදි සේදීම සදහා වැය කරන මුදලට වඩා අඩු මුදලක් මෙහිදී වැය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වෙයි.

    දැනට බස්නාහිර පළාතේ රෝහල්වල කොන්ත්‍රාත් ක්‍රමයට රෙදි සේදීමේ කටයුතු වල නිරතව සිටින පිරිස පිළිබදව රෝහල් වෛද්‍යවරුන් අමාත්‍යාංශයට පැමිණිලි කිරීමෙන් පසු නව තාක්ෂණය යොදා ගැනීමට තීරණය විය.

    කොන්ත්‍රාත්කරුවන් විසින් බාල වර්ගයේ අමුද්‍රව්‍ය යෙදීම, විෂබීජ ජීවාණුහරණය නොකිරීම, වර්ෂා කාලවල දී රෙදි රෝහල්වලට ලැබීමේ ප්‍රමාදය, නිසි ලෙස පවිත්‍ර නොකිරීම නිසා වෙනත් සම ආශ්‍රිත රෝග පැතිරීම වැනි ගැටලු වලට රෝහල් බලධාරීන් මුහුණ දී සිටියහ.

    දැනට බස්නාහිර පළාතේ මධ්‍යම රජයට පමණක් අයත්, රෝහල්වල දිනකට රෙදි කිලෝග්රුම් 17000 ක් පමණ පවිත්‍ර කිරීමට සිදුව ඇත. මෙම රෙදි විෂබීජ ජීවාණුහරණය කර රෝගීන්ට පිරිසිදු අයුරින් ලබාදීම ව්‍යාපෘතියේ අරමුණ වෙයි. දැනට මෙම ව්‍යාපෘතියට සමාන නවීන පන්නයේ ව්‍යාපෘතියක් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ක්‍රියාත්මක වෙයි. නව ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාතේ රැකියා විරහිත තරුණ තරුණයින් 300 කට පමණ රැකියා අවස්ථා උදාවෙයි.

    මෙම ව්‍යාපෘතිය පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා -

    “මෙම ව්‍යාපෘතියේ සංකල්පය පිරිසිදු රෝහලක් යන්නයි. ඇතැම් රෝහල්වල සුදුපාට ඇතිරිලි දුඹුරු පාට වී තිබෙනවා. විෂබීජ ඉවත් වන්නේ නැහැ. මොකද මෙම ඇද ඇතිරිලි සෝදනු ලබන්නේ බේරේ වැවේ ජලයෙන්. එම නිසා නවීන තාක්ෂණය යටතේ ඇද ඇතිරිලි පවිත්‍ර කිරිම වැදගත්. රෝග නිවාරණයට පිරිසිදුකම ඉතා වැදගත් වෙනවා.”

    “මෙම ව්‍යාපෘතිය යෝජිත එට්කා ගිවිසුම හා කිසිදු සම්බන්ධයක් නැහැ. ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කරන විටත් විරුද්ධ වූ අය දැන් පළාත් සභාවල ඉන්නවා. අපේ රටේ නව සංවර්ධන ව්‍යාපෘති වලට හැම දෙනාම විරුද්ධයි. මොකද දූපත් මානසිකත්වය හේතුවෙන්. ගල්ඔය ව්‍යාපාරයට, මහවැලි ව්‍යාපාරයටත් විරුද්ධ වුනා. සුව සැරිය ගිලන් රථ සේවාව ආරම්භ කරන විටත් විරුද්ධ වුනා. නමුත් අද වන විට එම ව්‍යාපාර සහ සේවාවන් ජනතාවට කොතරම් ප්‍රයෝජනවත් දැයි අමාත්‍යවරයා පැවසීය.