ලංකාවට එන්නෙ, ගැටලු විසඳුවොත් පමණක් යැයි පැකර් දැනුම් දෙයි

    August, 28, 2014

    කැසිනෝ රජෙකු ලෙස සැලකෙන ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් විසින් ඩොලර් මිලියන 400 ක් පමණ ආයෝජනය කරමින් කොළඹ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව නීතිමය ගැටලු කිහිපයක් මතුව තිබෙන නිසා ව්‍යාපෘතිය තවදුරටත් පමාවනු ඇතැයි වාර්තාවේ.

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කර ඇත.

    මෙම නීතිමය ගැටලු මොනවාදැයි අමාත්‍යවරයා පැහැදිලි කර නොමැති අතර ඒවා නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරනු ඇතැයි සඳහන් කර ඇත.

    මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රවී විජේරත්න මහතා සමග එක්ව ජේම්ස් පැකර් විසින් කොළඹ ආරම්භ කිරීමට සූදානම් වන මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කැසිනෝ සූදු ආරම්භ කිරීමට සූදානම් වන්නේ යැයි දැවැන්ත විරෝධතාවයක් ඇතිවූ අතර පසුව රජය විසින් අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවේ කැසිනෝ යන වචනය නිශ්චිතවම සඳහන් නොකරමිනි.

    ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පවසා තිබෙන්නේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නම් ඇතිවී තිබෙන ගැටලු නිරාකරණය කර දෙන්නැයි ජේම්ස් පැකර් පාර්ශවය රජයෙන් ඉල්ලා තිබෙන බවයි.