ලංකාවේ කොටස් වෙළෙඳපොළෙන් නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. අපි සිංගප්පූරුවට යනවා – ජැට් හෝල්ඩිංග්ස් ප්‍රධානියා කියයි

    December, 14, 2017

    මෙරට කොටස් වෙළෙඳපොළ තුළ සිය සමාගම ලැයිස්තුගත කිරීමෙන් ඊට නිසි වටිනාකමක් හිමිවන්නේ නැති බවත්, මේ හේතුව නිසා 2019 වසරේ දී සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළේ ජැට් හෝල්ඩිංග්ස් සමාගම ලැයිස්තුගත කිරීමට තීරණය කර ඇති බවත් ජැට් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජැට් හෝල්ඩිංග්ස් කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    “ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් අපේ සමාගමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ ලැයිස්තුගත සමාගම්වලට වැඩිය හොඳ මට්ටමේ ආය.නික යහපාලනයක් අප සමාගමේ ක්‍රියාත්මක වෙනවා. පසුගිය දා පැවති වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කරන වරලත් ගණකාධිකාර සංගමයේ සම්මාන ප්‍රදානයේ දී, පුද්ගලික සමාගමක් වු අපටත් සම්මානයක් හිමිවුණා. අපි අපේ සියලු මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කරනවා.“

    “සමාගමේ සියයට 80 ක කොටස් අයිතිය තිබෙන්නේ මා සතුවයි. අපිට ඕනෑම වෙලාවක ලංකාවේ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරන්න හැකියාව තිබෙනවා.“

    “ලංකාවේ කොටස් වෙළෙඳපොළේ තිබන අවිනිශ්චිත තත්ත්වය නිසා කවදාවත් නිසි වටිනාකමක් අපේ සමාගමට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා 2019 වසරේ දී සිංගප්පූරු කොටස් හුවමාරුවේ ජැට් හෝල්ඩිංග්ස් සමාගම ලැයිස්තුගත කරන්න අපි සැලසුම් කර තිබෙනවා.“

    ජැට් හෝල්ඩිංග්ස් සමාගම මෙයාකාරයෙන් සිංගප්පූරු කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමත් සමඟම, එහි ලැයිස්තුගත කෙරෙන පළමු ශ්‍රී ලාංකික සමාගම බවට ජැට් හෝල්ඩිංග්ස් පත්වනු ඇත.

    මේ අතර පසුගියදා පැවති ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන "වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා 2017" සම්මාන ප්‍රදානෝත්වයේ දී එහි ප්‍රධාන සම්මානය වන ප්ලැටිනම් සම්මානය ජැට් හෝල්ඩිංග්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා වෙත හිමිවිය.