ලංකාවේ ලොකුම සමාගම මෙන්න. දුම්කොළ සමාගම අභිබවමින් ජෝන් කීල්ස් යළිත් පෙරමුණට

    December, 31, 2019

    ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම බවට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී යළිත් වරක් පෙරමුණ ගෙන තිබේ. ඒ මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි ලංකා දුම්කොළ සමාගම (CEYLON TOBACCO COMPANY PLC) අභිබවමිනි.

    පසුගිය වකවානුවේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල ගණන් පහළ වැටීම හමුවේ එතෙක් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි එම සමාගම, දෙවැනි ස්ථානයට පත් වූයේ ලංකා දුම්කොළ සමාගම පළමු තැනට පැමිණීමත් සමඟිනි.

    අද (31) වන විට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 220 ඉක්මවා තිබේ. මේ වන විට ලංකා දුම්කොළ සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය දැක්වෙන්නේ රුපියල් බිලියන 209 ක් ලෙසිනි.

    මෙම ලැයිස්තුවේ තෙවැනි තැනට ඩයලොග් ආසියාටා පීඑල්සී පැමිණ ඇත්තේ රුපියල් මිලියන 100 ක් ඉක්මවූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියාපෑමත් සමඟය.

    කොළඹ කොටස් වෙළෙඳපොළ් රුපියල් බිලියන 100 ඉක්මවූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන්නේ ඉහත සමාගම 3 පමණි.

    කොමර්ෂල් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, ඩිස්ටිලරීස් සහ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් මෙම ලැයිස්තුවේ සෙසු මුල් ස්ථාන පිළිවෙලින් හිමිකර ගෙන ඇත.

    සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

    පහත දැක්වෙන්නේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව ඉහළින්ම සිටින සමාගම් 20 යි.