ලංකාව කෙරෙහි ආයෝජක විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ටාටා හවුසිං කියයි

    March, 12, 2015

    ටාටා හවුසිං සමාගම විසින් කොම්පඤ්ඤවීදියේ සිදුකරන නිවාස ව්‍යාපෘතිය නැවත ඇගයීමට නව රජය විසින් තීන්දු කර ඇතැයි සඳහන් කරමින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වෙමින් තිබෙන චෝදනා පදනම් විරහිත බවත් මෙවැනි තත්ත්වයන් තුළින් ලංකාව කෙරෙහි ආයෝජකයින් තුළ තිබෙන විශ්වාසය බිඳ වැටෙනු ඇති බවත් ටාටා හවුසිං සමාගම අවධාරණය කර තිබේ.

    මෙම ව්‍යාපෘතිය චෝදනාවට ලක්කරමින් පළවී තිබෙන මාධ්‍ය වාර්තා පිළිබඳව දැඩි ලෙස කණගාටු වන බවත් රජය විසින් සිදුකරන මෙවැනි ක්‍රියා මාර්ග තුළින් ටාටා හවුසිං සමාගම සමග පසුගිය වසර තුනහ මාරක පමණ කාලයක් කටයුතු කළ ලංකාවේ අධිකාරීන්ට අගෞරව කර තිබෙන බවත් සඳහන්ය.

    කොම්පඤ්ඤවීදිය නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් සමාගම තවදුරටත් කැපවී සිටින බවත් මෙම ව්‍යාපෘතිය පිළිබඳ නිවැරදි තොරතුරු අද දින රජයට භාරදුන් බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Tata Housing Development Company Limited සමාගමට අනුබද්ධ One-Colombo Project (Pvt) Ltd සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධ වී කොම්පඤ්ඤවීදියේ අක්කර 08 ක ඉඩමක මෙම නිවාස ව්‍යාපෘතිය සිදුකරමින් සිටී.

    මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු කාලයක බදු මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ වාණිජ හා සුපිරි නිවාස සහිත බහු මහල් ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිතය.

    මේ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පසුගිය රජය විසින් ඉන්දියාවේ ටාටා හවුසින් ඩෙවලොප්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි කොටස්කරු වන එස්.ජී. 18 ඇඩ්වයිසර්ස් ඇන්ඩ් කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිඩට් යන සමාගම් වෙත කොම්පඤ්ඤවීදියේ පිහිටි මෙම අක්කර 08 ක ඉඩම අවුරුදු 99 බදු පදනම මත පවරා තිබේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා කොම්පඤ්ඤ වීදියෙන් උතුරට පැරණි අධ්‍යාපන අමාත්‍යංශයේ ඉඩම්ද නැගෙනහිරට මැලේ වීදියද දකුණෙන් ජස්ටිස් අක්බාර් මාවත බටහිරින් දුම්රිය මාර්ගය වශයෙන් වූ අක්කර අටක ප්‍රමාණය නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙත පසුගිය රජය විසින් පවරා ගත්තේය.

    ව්‍යාපෘතිය යටතේ කොම්පඤ්ඤවීදියේ පදිංචි පවුල් 500 කට අධික සංඛ්‍යාවක් සඳහා අංග සම්පූර්ණ නිවාස ලබාදීමට සැලසුම් කර තිබුණි.