ලංකාව දෙසට හැරුණු චීන සංචාරක රැල්ල තව තවත් උස්වෙයි

    May, 6, 2014

    ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ගේ ප්‍රමාණය වේගයෙන් වර්ධනය වනබව අපි මෙයට පෙර අනාවරණය කර තිබේ.

    2014 අප්‍රේල් මාසයට අදාළව රජය විසින් නිකුත් කර තිබෙන නිළ දත්ත වලින් යළි යළිත් තහවුරු වන්නේ චීන සංචාරක රැල්ල ඉදිරියටම ඇදෙන බවයි.

    2013 අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය සියයට 170 කින් වැඩිවී තිබෙන අතර එම මාසයේදී රටක් ලෙස ගත්විට වැඩිම වර්ධනය වන්නේ මෙයයි. මේ අනුව, 2014 අප්‍රේල් මාසයේදී මෙරටට චීන සංචාරකයින් 8,005 ක් පැමිණ තිබේ.

    මීට අමතරව, මේ වසර තුළ මේ දක්වා මෙරටට පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණය සියයට 135 කින් වර්ධනය වී පැමිණ තිබෙන ප්‍රමාණය 36,803 කි.

    ලෝක බැංකුව එක්ව සිදුකර තිබෙන සමීක්ෂණයකින් පසුගියදා අනාවරණය කර තිබුණේ ලෝකයේ දැවැන්තම ආර්ථිකය ලෙස මේ වසරේදී චීනය බොහෝදුරට පෙරට පැමිණෙනු ඇති බවත් ඇමරිකාව චීනය හමුවේ පරාජය වනු ඇති බවයි.

    මෙවැනි තත්ත්වයක් තුළ චීනය තුළ වැඩි ආර්ථික බලයක් සහිත මධ්‍යම පන්තියක් බිහිවන නිසා ඔවුන් වැඩි වශයෙන් ඉදිරියේදී සංචාරය කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් විසින් පුරෝකතනය කර තිබේ. මේ නිසා, ඉදිරියේදී ලංකාවට බොහෝ චීන සංචාරකයින් අද්දවා ගැනීමේ අවස්ථාව තිබේ.

    මේ අතර, 2014 අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ගිය වසරේ අදාළ මාසය සමග සැසඳීමේදී සියයට 39.5 කින් ඉහළ ගොස් සංචාරකයින් 112,631 ක් පැමිණි බව මෙම දත්ත විසින් අනාවරණය කර ඇත.

    මීට අමතරව, මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 27.6 කින් ඉහළ ගොස් සංචාරකයින් 534,132 ක් පැමිණ ඇත.

    මෙහිදී, බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 47.9 කින්ද, දකුණු ආසියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 28 කින්ද, නැගෙනහිර ආසියාවෙන් පැමිණි ප්‍රමාණය සියයට 61.4 කින්ද, නැගෙනහිර යුරෝපයෙන් පැමිණි ප්‍රමාණය සියයට 24.8 කින්ද ඉහළ ගොස් ඇත.