ලංකාව වාහන එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම්

    May, 22, 2014

    ශ්‍රී ලංකාව වාහන නිෂ්පාදනය කිරීමේ සහ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය ඉලක්ක කර තිබෙන බවත් එහිදී දේශීය අමුද්‍රව්‍ය සියයට 30 ක් පමණ යොදා ගනිමින් අගය එකතු කර නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ එම වාහන අපනයනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කියයි.

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිටත් මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් පොල්ගහවෙල ආරම්භ කර තිබෙන බවත් මෙරට තුළ වාහන එකලස් කිරීමට හා නිෂ්පාදනය කිරීම සඳහා රජය අනුබල ලබාදෙන බවයි.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට නිදහස් වෙළඳ ගිවිසුමක් තිබෙන අතර චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට කටයුතු කරමින් සිටී.