ලංකාසෝයි 2019 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

    January, 28, 2020

    විශිෂ්ටත්වය පිළිබඳ වන සිය ගමන් මඟ යළිදු වතාවක් මනාව සනාථ කරමින් සිලෝන් බ්ස්කට්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගමේ නවතම සෝයා  නිෂ්පාදනය වන ලංකාසෝයි කිරිමාළු, 2019  SLIM  සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම නව හඳුන්වා දීමට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය.

    ලංකාසෝයි හි විශිෂ්ට නිෂ්පාදන අතරට අලුතින්ම එකතු වූ කිරිමාළු, ගෘහස්තව පිළියෙළ කරන සම්ප්‍රධායික කිරිමාළු රසයෙන්ම පැමිණෙන නිසා ඉතා කෙටි කාල සීමාවක් ඇතුළතදී විශාල පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගත් රසයෙන් සහ ගුණයෙන් අනූන නිෂ්පාදනයක් ලෙස හැඳින්විය හැක.

    "Catapult Your Brand’’ යන තේමාව යටතේ ශ්‍රී  ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ මෙවර පැවැත්වුණේ 18 වන වතාවටයි. SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල ජාතික මට්ටමින් අලෙවිකරණයේ සුවිශේෂී දස්කම් අගයන වසරේ දැවැන්තම වැඩසටහනක් ලෙස හැඳින්විය හැක.

    ලංකාසෝයි විසින් වෙළඳපොළට ඉදිරිපත් කරන පුළුල් පරාසයක විහිදුණු විශිෂ්ට සෝයා නිෂ්පාදන පෙළට එක්  වූ ප්‍රථම කිරට නිෂ්පාදනය වන   ‘ලංකාසෝයි කිරිමාළු" ගෘහාශ්‍රිත සම්ප්‍රදායික කිරිමාළු රසයට ආදේශකයක් බව කිව හැකිය.  සෝයා නිෂ්පාදන ක්ෂේත්‍රයේ ශ්‍රී  ලංකා ප්‍රමිති සහතිකය (SLS) හිමි කර ගත් ප්‍රථම සමාගම වන ලංකාසෝයි, ඉහළ ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන ක්‍රියාවලිකට හිමිකම් කියන සමාගමක් ලෙස සිය නාමය තවදුරටත් ස්ථාපිත කරමින්, ISO 9001:2008, ISO 22000:2005, GMP, HACCP තත්ත්ව සහතිකවලට ද හිමිකම් පා ඇත.

    ‘‘ සුවිශේෂී රසයකින් සමන්විත ලංකාසෝයි කිරිමාළු නිෂ්පාදනය වසරේ විශිෂ්ටතම නව හඳුන්වා දීමට හිමි රන් සන්නාමයට හිමිකම් කීම අප සමාගම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. මෙම නිෂ්පාදනය වෙළඳපොළට හඳුන්වා දීමේ සිටම ඉහළ පාරිභෝගික ඉල්ලුමක් ඒ සඳහා පැවතුණු අතර එයට ප්‍රධාන හේතුව ලෙස අප නිෂ්පාදනයන්හි දක්නට ලැබෙන දිව පිනවන රසය සහ අසමසම  ගුණත්වය  හැඳින්විය හැක.  අප සමාගමක් ලෙස  නිරන්තරයෙන්ම බලාපොරොත්තු වන්නේ, නොකඩවා පර්යේෂණ සිදු කරමින් සහ නිෂ්පාදන ක්‍රියාවලීන් වැඩි දියුණු කරමින් පාරිභෝගිකයා ගෙවන මුදලට වඩා වටිනාකමක් ඔවුන්ට හිමි කර දීමටයි. එම උත්සාහය නිසාම මෙවැනි සුවිශේෂී  සෝයා නිෂ්පාදන රැසක් පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට අප සමත්ව තිබෙනවා" CBL සමුහයේ ආහාර අංශයේ අලෙවි සාමාන්‍යධිකාරී ජයංග පෙරේරා මහතා ජයග්‍රහණය පිළිබඳ සිය අදහස් දක්වමින් පවසා සිටියේය.

    SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන පිරිනමනු ලබන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ විණිසුරු මඩුල්ලක් විසින් සන්නාමය ආශ්‍රිතව දිගු කාලීනව සිදු කරන විවිධ ඇගයීම් සහ අධ්‍යනයන් රැසක් පදනම් කර ගනිමිනි.

    මෙරට සෝයා වෙළඳපල තුළ විප්ලවීය වෙනසක් සිදුකළ ලංකාසෝයි කුකුළු මස්, එළුමස්, සී ෆුඩ්, නිර්මාංශ රසයන් ඇතුළුව විශාල පරාසයක විහිඳුණු රස රැසකින් නිෂ්පාදන රැසක් වෙළඳපොළට ඉදිරිපත් කර ඇත.  කොලස්ටරෝල් රහිත ප්‍රෝටීන් බහුල, එදිනෙදා ආහාර වේලට පහසුවෙන් සපයා ගත හැකි පෝෂණීය ආහාරමය නිෂ්පාදන රැසක් කලින් කලට වෙළඳපොළට ඉදිරිපත් කරන ලංකාසෝයි ගෝලීය වෙළඳපොළ තුලද දැඩි කතාබහට ලක් වූ සන්නාමයකි.  2012 වර්ෂයේදී ලංකාසෝයි  වසරේ විශිෂ්ටතම සන්නාමයට හිමි රන් සම්මානය SLIM සන්නාම උළෙලේදී හිමි කර ගැනීමටද සමත් විය.

    කන්වීනියන්ස් ෆුඞ්ස් (ලංකා) පීඑල්සී සමාගම ආරම්භයේ සිටම ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සෝයා නිෂ්පාදන දේශීය සහ විදේශීය වෙළඳපොළට නිකුත් කිරීමට සමත් විය.  "ලංකාසෝයි" ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අතර, SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන, ජාතික ඵලදායිතා සම්මානය, CNCI කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ඒ අතර සුවිශේෂී වෙයි.