ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මෙරට තුළ බිටුමන් නිෂ්පාදනය අරඹයි

    June, 21, 2018

    2019 වනවිට දේශීය සැපයුමෙන් 60% ක් සැපයීමේ උත්සාහයක්

    ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට දැවැන්ත රුකුලක් වෙමින්, මෙරට එකම ඛනිජ තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුවේදී දේශීයව බිටුමන් නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

    මේ පිළිබඳව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මහතා මෙසේ පැවසී ය. ‘‘රටේ ඉදිකිරීම් කර්මාන්තයේ වේගවත් වර්ධනය සහ බිටුමන් සඳහා ඉහළ යමින් පවතින ඉල්ලූම සැලකිල්ලට ගනිමින් සපුගස්කන්ද පිරිපහදුවේදී බිටුමන් නිපදවීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. දේශීයව උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදනය නිපදවා, විදේශයන්ට ඇදී යාමට තිබූ විශාල මුදලක් රටට ඉතිරි කරමින් රටේ තිරසාර සංවර්ධනයට දායක වීම අපගේ ඉලක්කයයි.”

    මෙලෙස දේශීයව බිටුමන් නිපදවීම ආරම්භ කළ පසු පිරිපහදු ක‍්‍රියාවලිය මෙන්ම සංස්ථාවේ ලාභදායීත්වයද වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරගකාරී මිලකට බිටුමන් ලබාදීමට හැකිවීම නිසා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සමාගම් හා ආයතන වලට අමුද්‍රව්‍ය සඳහා වැයවන වියදම් අවම වනු ඇත. පූර්ණ පහසුකම් සහිත රසායනාගාරයක් තිබීම සහ මනාව පුහුණුව ලත්, අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් සිටීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙම නිෂ්පාදන ජාත්‍යන්තර ප‍්‍රමිතිය සහිතව ලබාදීමේ හැකියාව පවතී. තවද බිටුමන් නිෂ්පාදනය මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තම ඞීසල් නිෂ්පාදනය 15% කින් සහ දැවිතෙල් නිෂ්පාදනය 35% ත් 40% ත් අතර ප‍්‍රමාණයකින් වැඩි කළ හැකි වේ.

    ‘‘ආරම්භක අදියරේදී දිනකට මෙටි‍්‍රක් ටොන් 150 ක් නිපදවමින් රටේ බිටුමන් ඉල්ලූමෙන් 40% ක් සපුරාලීම අපගේ ඉලක්කයයි. ඉදිරියේදී පිරිපහදු පහසුකම් වැඩිදියුණු කරමින් මෙය මෙටි‍්‍රක් ටොන් 225 දක්වා ඉහළ නංවා රටේ සමස්ත ඉල්ලූමෙන් 60% ක් දක්වා සපුරාලීමට අප අපේක්ෂා කරනවා. මෙමගින් අපට උසස් ප‍්‍රමිතියෙන් යුත් බිටුමන් තරගකාරී මිලකට ලබාදෙමින් රටේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට විශාල යහපතක් සිදුකළ හැකිවාක් මෙන්ම බිටුමන් භාවිතය බහුලව සිදුකරන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට මහත් පිටිවහලක් සැපයීමටත් හැකියාව ලැබේවි.” ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසී ය.

    බිටුමන් යනු මහාමාර්ග, ගුවන් යානා ධාවන පථ, රථගාල් සහ ඇවිදීමේ මංතීරු ආදිය ඉදිකිරීමේදී අත්‍යවශ්‍ය වන අමුද්‍රව්‍යයකි. එමෙන්ම එය වහළ සෙවිලි කරන ද්‍රව්‍ය, ජලය ඇතුළු නොවන ලෙස මුද්‍රා තැබීමේ ද්‍රව්‍ය, ශබ්දය ආවරණය කරන ද්‍රව්‍ය, වෙනත් ඉදිකිරීම් ද්‍රව්‍ය, කන්නාඩි, පාවහන් වල අඩිය, ආලේපන සහ පසට යොදන ස්ථායිකාරක වැනි ද්‍රව්‍ය රාශියක් නිෂ්පාදනය කිරීම සඳහාද භාවිතා කරයි. රටේ මේ වනවිට ක‍්‍රියාත්මක වන මහාමාර්ග ව්‍යාපෘති වලට මෙන්ම යටිතල පහසුකම් ව්‍යාපෘති සියල්ලටම පාහේ බිටුමන් අත්‍යවශ්‍ය වේ.