ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්

    December, 17, 2016

    ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විකුණා දැමීමට අදාළ ගනුදෙනුව වහාම අවලංගු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

    මෙම ගනුදෙනුව රජයේ කිසිදු අනුමැතියකින් තොරව සිදු වී ඇති බවට වාර්තා වන අතර විෂය භාර අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව අදාළ ගනුදෙනුව සිදු වී ඇති බවට ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

    මෙම ගනුදෙනුව වහාම අවලංගු කරන ලෙස නියෝග කර ඇති අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ද නියෝග කර තිබේ.

    සෙලාන් බැංකු, ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 13,198,305 ක් ලංකා බැංකුව සතුව පැවති අතර මෙය සෙලාන් බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 7.5% ක් විය. මෙහිදී එක් කොටසක් රු. 100 බැගින් අලෙවි වූ අතර රුපියල් බිලියන 1.32 (1,319,830,500) ක පිරිවැටුමක් මෙම ගනුදෙනුවෙන් වාර්තා විය.

    ඊයේ දිනයේ දී සෙලාන් බැංකු කොටසක අවසන් ගනුදෙනු මිල රු. 85.00 ක් වූ අතර වෙළෙඳපොළ ගනුදෙනු මිලට වඩා රු. 15.00 ක අධි මිලකට, එනම් රු. 100.00 බැගින් මෙම කොටස් ගනුදෙනුව සිදුව තිබේ.

    කොටස් වෙළෙඳපොළ සංඛ්‍යා වාර්වතාවලට අනුව මෙම ගනුදෙනුවේ ගැනුම්කාර පාර්ශවය වී ඇත්තේ විදෙස් ආයෝජකයෙකි.