ලංකා IOC මාස 03කදී රු. මිලියන 490ක ලාභයක් උපයයි

    January, 27, 2020

    ඉන්දියන් ඔයිල් සමාගමේ මෙරට ව්‍යාපාරික ඒකකය වන ලංකා IOC සමාගම පසුගිය 2019 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී රුපියල් මිලියන 489.75 ක ශුද්ධ ලාභයක් උපයා තිබේ. 2018 දෙසැම්බර් කාර්තුව තුළ දී රු. මිලියන 986.88ක අලාභයක් ලබා තිබුණු පසුබිමක, පසුගිය කාර්තුව මෙලෙස සාර්ථක ලෙස නිමා කරලන්නට සමාගම සමත් වී ඇත.

    මෙම ලාභ අගයයත් සමඟම 2019-20 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ දී ලංකා IOC සමාගම උපයා ඇති ශුද්ධ ලාභය රු. මිලියන 767.98 ක් ලෙසින් වාර්තා වේ. සමාගමේ මූල්‍ය ප්‍රකාශවලට අනුව 2018-19 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ ලංකා IOC සමාගමේ අලාභය රු. මිලියන 533.70 ක් ලෙසින් සටහන්ව ඇත.

    සමස්තයත් ලෙස ගත් කළ පසුගිය කාර්තුව තුළ දී ලංකා IOC සමාගමේ ආදායම රු. බිලියන 23.12 සිට රු. බිලියන 19.80 ක් දක්වා පහත වැටී ඇතත්, සමාගමේ විකුණුම් පිරිවැය රු. බිලියන 23 සිට රු. බිලියන 18.47 ක් දක්වා අඩුකර ගැනීමට සමත් වී තිබේ.

    ඉහත කී ලාභ අගයයත් සමඟම 2019 දෙසැම්බර් කාර්තුව අවසානයේ දී ලංකා IOC සමාගමේ කොටසක ඉපැයුම සත 92 ක් ලෙසින් වාර්තා වේ.