ලක්ෂ විසිපහේ ඉලක්කය මඟ හැරේ. 2018 දී පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව විසිතුන් ලක්ෂය ඉක්මවයි

    January, 4, 2019

    2018 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,333,796 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙය 2017 වසරේ දී පැමිණි මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය වූ 2,116,407 හා සැසඳීමේ දී සියයට 10.3 ක ඉහළ යාමකි.

    නවතම වාර්තාවක් මඟින් මේ බව අනාවරණය කරමින් සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් කියා සිටින්නේ 2018 දෙසැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 253,169 ක් බවයි. එය පසුගිය 2017 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව වූ 244,536 ට වඩා 3.5% ක වර්ධනයකි.

    මේ අතර පසුගිය දා කොළඹ දී සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේ, 2018 අවසාන භාගයේ දී රටේ සිදුවූ දේශපාලන අර්බුදකාරීත්වය හේතුවෙන් විසිපන්ලක්ෂයක සංචාරක ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ බවයි.

    2018 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ සටහන් කිහිපයක් පහතින් දැක්වේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2018 දෙසැම්බර් මාසයේ දී එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 21,756 සිට 26,828 ක් දක්වා 23.3% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබීමයි.