ලක්ෂ 73 ක් වාහන ලියාපදිංචි කරලා – වාහන ලියාපදිංචියට පැමිණෙන්නන් සීමා කිරීමේ සැලසුමක්

    April, 11, 2018

    වාහන ආනයනය කරන අවස්ථාවේ සිට වඩාත් විධිමත් අන්දමින් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පවසයි. විද්‍යුත් ක්‍රමවේදයන් ඔස්සේ වාහන ලියාදිංචිය සිදුකිරීම සඳහා දියත් කරන ලද  e-Motoring ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියරේ පවතින බව පැවසූ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ අන්තර්ජාලය හරහා මෙම සේවාවන් ලබා ගැනීමට සේවාදායකයින් යොමු කිරීමට කටයුතු කරන බවයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.

    “එක ඉලක්කයක් තමයි මේ දෙපාර්තමේන්තුවට පැමිණෙන සේවාදායකයින් සංඛ්‍යාව සීමා කරලා පුළුවන් තරම් ඔන්ලයින් ලියාපදිංචි කරන්න, ඔන්ලයින් ගෙවීම් කරන්න සේවා සැලසීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ තුළින් කාර්යක්ෂම සේවාවක් පාරිභෝගිකයාට ලබා දෙන්න මෙම දෙපාර්තමේන්තුව පියවර ගන්නවා.“

    මේ අතර එක දිගට වසර 5 ක කාලයක් ආදායම් බලපත්‍ර ලබා ගෙන නොමැති  වාහනවල ලියාපදිංචිය අවලංගු කිරීමේ තීරණය සම්බන්ධයෙන් ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මෙහිදී අදහස් දැක්වීය.

    “දැනට භාවිතයේ නොමැති වාහනවල ලියාපදිංචිය අවලංගු කිරීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කර තිබෙනවා. එසේ භාවිතයට නොගැනෙන වාහන අපි හඳුනාගත යුතුයි. ඒ සඳහා එක් නිර්ණායකයක් ලෙස වසර 5 ක් එක දිගට වාහනය සඳහා වාර්ෂික ආදායම් බලපත්‍රය ලබා ගෙන නැතිනම් එය භාවිතයේ නොමැති වාහනයක් ලෙස සලකනවා. එම වාහන මොනවාද යන්න පිළිබඳව ආදායම් බලපත්‍ර නිකුත් කරන පළාත් සභාවලින් අපි ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු අපිට ලැබෙමින් පවතිනවා. ඒ අනුව ඉදිරියේ දී එවැනි වාහනවල ලියාපදිංචිය අවලංගු කරන්න අපි තීරණය කර තිබෙනවා.“

    මෙහිදී වැඩිදුරටත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, දීර්ඝ ක්‍රමවේදයක් ඔස්සේ මෙම වාහන ලියාපදිංචිය අවලංගු කිරීමේ කටයුත්ත සිදුකරනු ලබන බවත්, අවසානයේ දී එසේ ලියාපදිංචිය අවලංගු කෙරෙන වාහනවල අංක, පුවත්පත් නිවේදන මගින් ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කරනු ලබන බවත්ය.

    2018 අප්‍රේල් 06 දින වන විට මෙරට දැනට ලියාපදිංචි වී තිබෙන සම්පූර්ණ මෝටර් රථ සංඛ්‍යාව 7,376,268 ක් වශයෙන් සටහන් වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී අනාවරණය කළේය.