ලන්ඩන් කොටස් පොළ එකළු කළ, ටෝනි වීරසිංහ සමුගැනීමට තීරණය කරයි

    May, 20, 2014

    ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ප්‍රධාන ගනුදෙනු තාක්ෂණය ගොඩනැගීම සඳහා උරදුන් ටෝනි වීරසිංහ මහතා ලන්ඩන් කොටස් වෙළඳ පොළින් ජුනි මාසය අවසානයේදී ඉවත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

    මේ පිළිබඳව වාර්තා කරමින් බ්ලූම්බර්ග් පුවත් සේවාව සඳහන් කරන්නේ ලංකාව පදනම් කරගත් MillenniumIT සමාගම ඩොලර් මිලියන 30 කට ලන්ඩන් කොටස් වෙළඳ පොළට 2009 වසරේදී විකුණා ඔහු ලන්ඩන් කොටස් වෙළඳ පොළට සම්බන්ධ වූ බවයි.

    ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ගනුදෙනු පද්ධතියේ මූලිකාංග ගොඩනැගීම සඳහා දායකවූයේ  MillenniumIT සමාගමයි.

    ලන්ඩන් කොටස් වෙළඳ පොළින් ඉවත් වීමෙන් පසුව 52 හැවිරිදි ටෝනී වීරසිංහ මහතා සිය පවුල සමග කාලය ගත කිරීමටත් ඔහුගේ ඊළඟ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කැපවීමටත් අදහස් කර තිබේ.

    ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ප්‍රධාන විධායක නිළධාරීවරයා විශ්වාසය පළකර තිබෙන්නේ වීරසිංහ මහතා ඉදිරියේදීත් උපදේශකයෙකු ලෙස ලන්ඩන් කොටස් වෙළඳ පොළ සමග කටයුතු කරනු ඇති බවයි.

    වීරසිංහ මහතා ලන්ඩන් කොටස් වෙළඳ පොළ සමග එක්වූවායින් පසුව එහි දියුණුව වෙනුවෙන් කටයුතු රැසක් සිදුකළා යැයිද ප්‍රධාන විධායක නිළධාරීවරයා ප්‍රශංසා කර තිබේ.