ලබන ආදායමට වඩා 75%ක වැඩි ආදායමක් අවුරුදු 3කින්  – ජනපති කියයි

    February, 8, 2023

    වර්තමානයේ අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග ඉදිරියට පවත්වාගෙන යාම තුළින් තවත් වසර 3කින් වර්තමානයේ ලබන ආදායමට වඩා 75% ක පමණ වැඩි ආදායමක් ලබා ගැනීමට ජනතාවට හැකිවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. අද (08) දින පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    ආර්ථික අර්බුදකාරි අවස්ථාවක උද්ධමනය ඉහළ යනවා. බඩු මිළ වැඩි වෙනවා. රැකියා අනතුරට පත්වෙනවා. ව්‍යාපාර කඩා වැටෙනවා. බදු බර වැඩිවෙනවා. සමාජයේ සියලු කොටස්වලට ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස පහක හයක කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපට විසඳුමක් වෙත යන්න පුළුවන්. මේ විදියට ඉදිරියට ගියොත් අවුරුද්දේ තුන්වෙනි, හතරවෙනි කාර්තු වෙද්දි රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබා දෙන්න අපට පුළුවන්.

    පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොළිය අඩු කරන්න පුළුවන්. තවත් අවුරුදු තුනක් ගතවෙද්දි අද ලබන ආදායමට වඩා සියයට 75ක පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්.

    වර්තමානයේ සියලු දුෂ්කරතා මැද වුණත්, අබල දුබල ආර්ථිකයකින් බැට කන දිළිඳු කණ්ඩායම්වලට රැකවරණ ලබා දීමටත් අප පියවර ගත්තා. මේ සඳහා ලෝක බැංකුව අපට පූර්ණ සහාය ලබා දුන්නා.

    නමුත් අපේ රටේ සහනාධාර ලබා දීමේ ක්‍රමය විකෘතියට ලක්වෙලයි තියෙන්නේ. වැඩි ආදායම් ඇති අය පවා සහනාධාර ලබනවා. අප මේ තත්ත්වය වෙනස් කිරීමට පියවර ගනිමින් සිටිනවා. සැබවින්ම දිළිඳු ප්‍රජාව හඳුනා ගන්නවා. සහනාධාර බැංකු ගිණුමක් හරහා ඔවුන්ට කෙළින්ම මුදලින් ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා.

    හැබැයි, සමහර කණ්ඩායම් මේ ගමන් මඟ කඩාකප්පල් කරන්න තැත් දරනවා. ඔවුන්ට බලය ලැබුණොත්, බදු අඩු කරනවා - පඩි වැඩි කරනවා ආදි සුරංගනා කතා කියනවා. විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කරන්න උත්සාහ ගන්නවා.

    මම කිසි විටෙක කරන්න බැරි දේ කියන්නේ නෑ. බලය වෙනුවෙන් බොරු කියන්නේ නෑ. අය වැය කතාවේ දී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියු හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වෙමින් තියෙනවා.

    සෘණ ආර්ථිකයක සිට ධන ආර්ථිකයක් කරා අප දැන් ගමන් කරමින් ඉන්නෙ. 2023 අවසන්වෙද්දි ධන ආර්ථික වර්ධනයක් ලබාගැනීමට අපේක්ෂා කරනවා.

    මම ජනාධිපති ලෙස මුලින්ම මේ පාර්ලිමේන්තුව අමතද්දි රටේ උද්ධමනය සියයට 70 යි. අපේ ක්‍රියා පිළිවෙත් නිසා 2023 ජනවාරි වෙද්දි එය සියයට 54 ක් දක්වා පහත හෙළන්නට අපට හැකි වුණා. අප වෙහෙසෙන්නේ 2023 අවසන් වෙද්දි එය තනි ඉලක්කමක් බවට පත් කර ගන්නයි.