ලබන වසරේ සිට කාර්ය සාධනය මත පදනම් වූ අයවැයක්

    August, 14, 2017

    2018 වසර සඳහා වන අයවැය, කාර්ය සාධනය පදනම් කරගෙන පිළියෙළ කිරීමට රජය තීරණය කර ඇති බැවින් සියලුම අමාත්‍යාංශ තම ව්‍යාපෘති යෝජනා මඟින් ප්‍රතිලාභීන්ට සහන සලසන්නේ කෙසේදැයි ව්‍යාපෘති නිමැවුම් පිළිබඳ දත්ත ඇතුළත් කොට ඒවා ඉදිරිපත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    එමෙන්ම, එම ව්‍යාපෘති ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPI) සහිතව ඉදිරිපත් කළ යුතුව ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා හා ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

    පසුගිය වර්ෂයන්හිදී ප්‍රාග්ධන වියදම් භාවිතය ප්‍රමාණවත් නොවන අයුරින් වූ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති හා විදේශ මූල්‍යාධාර සහිත ව්‍යාපෘති සඳහා 2018 අයවැයෙන් ප්‍රමුඛතාව දෙනු ලැබේ. කෙසේවුවද, ව්‍යාපෘතිවල අවසන් නිමවුම පිළිබඳ මිනිය හැකි දර්ශක හඳුනාගෙන තිබීමේ පදනම මත අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතා පදනම මත මුදල් වෙන්කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

    මේ අයුරින් විවිධ අමාත්‍යාංශවලින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘතිවල ශක්‍යතාවය පිළිබඳ ඇගයීමේ සාකච්ඡා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් මේ දිනවල භාණ්ඩාගාරයේදී පැවැත්වේ.

    ජාතික අයවැය සම්පාදනයේදී රජයේ ආදායම් ප්‍රමාණය වැඩි කිරීම, පුනරාවර්තන වියදම් තාර්කීකරණය කිරීම, රාජ්‍ය ආයෝජන ප්‍රතිශතය වැඩිකිරීම, අයවැය හිඟය ක්‍රමයෙන් අඩු කිරීම සහ රජයේ ණය බරතාවය අඩු කිරීම යන ඉලක්ක ළඟාකර ගැනීමේ රජයේ අපේක්ෂාවන් සාර්ථක කරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු යැයි අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය පිළියෙළ කිරීමේ කාර්යයේ නිරතව සිටින මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී ඇත.

    විවිධ අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන මඟින් දැනට ක්‍රියාත්මක ප්‍රාග්ධන ව්‍යාපෘති හා නව ආයෝජන සඳහා පහසුකම් සැලසීමට මෙන්ම සංවර්ධන ප්‍රමුඛතා මත 2018 වසර සඳහා වන අයවැයෙන් මුදල් වෙන්කිරීම සඳහා සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුවක් අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමත කර ඇත.

    පසුගිය වර්ෂයන්හි ක්‍රියාත්මක කළ ශුන්‍ය පාදක අයවැයකරණ ක්‍රමයේ අත්දැකීම් මත පදනම්ව මෙම වසරේ සිට කාර්යසාධනය මත පාදක වූ අයවැය සම්පාදනය කිරීම සිදුකෙරේ. ඒ අනුව, මින් මතුවට ක්‍රියාත්මක කරනු ලබන සියලු ව්‍යාපෘති, ඒවායින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ නිශ්චිතව නිර්ණය කළ හා මිනිය හැකි ප්‍රතිඵල ළඟාකර ගැනීමේ පදනමින් යුක්තව සකස් කිරීම සියලු අමාත්‍යාංශවල නිලධාරීන්ගේ වගකීම වනු ඇත.

    2018 වසර සඳහා වන අයවැය නොවැම්බර් මස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැවින් මෙතෙක් යෝජනා ඉදිරිපත් කර නොමැති අමාත්‍යාංශ වලට අයත්, ව්‍යාපෘති යෝජනා ප්‍රධාන කාර්යසාධන දර්ශක ඇතුළත් කර නොපමාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත දැනුම් දෙයි.