ලයිස්තුගත සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූ පළමු බෞද්ධ භික්ෂූව ලෙස පාලිත හිමියන් ඉතිහාසයට එක්වෙයි

    February, 23, 2015

    ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය තීනියාවල පාලිත නාහිමියන්ව ලංකා හොස්පිට්ල්ස් පී.එල්.සී. ලයිස්තුගත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීම මෙරට ඉතිහාසයේ බෞද්ධ භික්ෂුවක් ලයිස්තුගත සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබෙන පළමු අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක් වේ.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග පැවසුවේ නව රජය විසින් ලංකා හොස්පිට්ල්ස් සඳහා පත්කර තිබෙන 13 දෙනෙකුගෙන් යුක්ත අධ්‍යක්ෂ මණ්ඩලයට පූජ්‍ය තීනියාවල පාලිත නාහිමියන්ද අයත් වන බවයි.

    එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම්වරයා වන පූජ්‍ය තීනියාවල පාලිත නාහිමියන් නුගේගොඩ නාලන්දාරාමාධිපති ස්වාමීන් වහන්සේයි.

    පසුගිය රජය විසින් විදුලිය ගාස්තු ඉහළ දැමූ විට එයට එරෙහිව පූජ්‍ය තීනියාවල පාලිත නාහිමියන් අධිකරණය හමුවට ගිය අතර ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයනයේදී පුද්ගලික බැංකු සමග ඇතිකර ගත් “හෙජිං” ගිවිසුම දූෂිතයැයි එයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ පෙත්සම්කරුවන් අතර පාලිත නාහිමියන්ද ප්‍රමුඛයෙකු විය.

    “හෙජිං“ ගනුදෙනුවට එරෙහිව පෙත්සම් ගොනුකළ අනිකුත් දෙදෙනා වන්නේ ලාෆ්ස් ලංකා සමාගමේ සභාපති, ඩබ්ලිව්. කේ.එච්. වෑගපිටිය මහතා සහ වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතායි.

    ලංකා හොස්පිට්ල්ස් සමාගමේ සභාපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජය පත්වීමත් සමග එහි සභාපති ධූරයෙන් ඉවත් වූ අතර මේ වනවිට සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ වෛද්‍ය සරත් පරණවිතාන මහතායි. ඔහු සීලයින් සමාගම් සමූහයට අයත් Ceymed Healthcare Services (Pvt) Ltd සමාගමේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරන බව එම රෝහලට අයත් වෙබ් අඩවියේ දැක්වේ.

    මේ අතර, අප ඊයේ අනාවරණය කළේ ලංකා හොස්පිට්ල්ස් ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස දිගු කාලයක් සේවය කල ලකිත් පීරිස් මහතා තවත් නොබෝ දිනකින් හේමාස් හොස්පිට්ල්ස් හි, සමූහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස වැඩභාර ගැනීමට නියමිත බවයි.

    ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික රෝහලක් වන ලංකා හොස්පිට්ල්ස් 2002 වසරේදී ආරම්භ වන්නේ චෙන්නායි පදනම් කරගත් ඇපලෝ රෝහල් සමාගමේ ආයෝජනයෙන් ඇපලෝ රෝහල ලෙස රජයට අයත් නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ඉඩමකයි.

    පසුව, ඇපලෝ රෝහල අයත්වූ ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් සමාගමේ සියයයට 30 ක කොටස් ඉන්දියානු ඇපලෝ රෝහල් සමාගම විසින් 2006 වසරේදී  සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා නායකත්වය දුන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් මිලියන 1,456 කට විකුණා දැමීය. සුළු කොටස් හිමියන් දෙදෙනෙකුද තමන් සතුවූ සියයට 09 කට ආසන්න කොටස් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට විකුණූ අතර ලංකා හොස්පිට්ල්ස් හි, ස්ටැසන්ස් සමාගම් සමූහයේ සමාගම් වලට අයත් වූ කොටස් ප්‍රමාණය මේ සමග සියයට 80 ඉක්මවීය.

    2009 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ ගනුදෙනුව අවලංගු කර එම කොටස් මුදල් අමාත්‍යංශය යටතට පත්කිරීම හමුවේ ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් සමාගමේ රක්ෂණ සංස්ථාවට හිමිවූ කොටස්වල අයිතිය රජයට හිමිවිය.

    මේ වනවිට, ලංකා හොස්පිට්ල්ස්හි කොටස් වලින් සියයට 55 ක් පමණ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් වන අතර සියයට 10 ක් පමණ අයත් වන්නේ ලංකා බැංකුවටයි.

    සියයට 28 ක් පමණ ඉන්දියානු Fortis Healthcare සමාගමට අයත් වන අතර ඉතිරි සියයට 8 ක පමණ ප්‍රමාණය කොළඹ කොටස් වෙළඳ පොළ හරහා කොටස් කරුවන්ට අයත් වේ.

    මේ අනුව, කොළඹ කොටස් වෙළඳ පොළ හරහා ලංකා හොස්පිට්ල්ස් හි, කොටස් හිමි කොටස්කරුවන් 8500 ක් පමණ සිටී.

    2014 සැප්තැම්බර් 30 අවසන් වන කාර්තුවේදී ලංකා හොස්පිට්ල්ස් සමූහය සතු සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 5.4 ක් වන අතර එම කාර්තුවේදී ලබා තිබෙන ලාභය රුපියල් මිලියන 57 කි.

    2014 මුල් මාස 09 තුළදී ලංකා හොස්පිට්ස්ල් සමූහය විසින් රුපියල් මිලියන 269 ක ලාභයක් වාර්තා කර තිබීමද කැපී පෙනේ.