ලිට්‍රො ගෑස් කෝප් කමිටුව හමුවට

    July, 5, 2022

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා රැසක් මේ සතියේ රැස්වීමට නියමිතය.

    ඒ අනුව අද (05) රැස්වීමට නියමිත කෝප් කමිටුව හමුවට ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතන කැඳවා තිබේ. කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

    එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින රැස්වන රජයේ ගිණුම් කාරක සභාව වෙත කැඳවා ඇත්තේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද එහි සභාපති අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතව තිබේ.

    එයට අමතරව, එදින රජයේ මුදල් කාරක සභාවද එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම කමිටුව හමුවට කැඳවා තිබේ.

    මේ අතර, හෙට (06) රැස්වීමට නියමිත කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි.