ලියැවිලි නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි පුද්ගලයන් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කෙරේ

    September, 10, 2020

    රජයේ ඉඩම් කොටසක ස්ථිර නිවාස ඉදිකර, කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යන හෝ ඕනෑම සංවර්ධන කටයුත්තක් සිදුකරමින් භුක්ති විඳින පුද්ගලයන් සඳහා නීත්‍යානුකූල ලියවිලි ලබා දීමට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි (විශේෂ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට නියමිත කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර) සුදුස්සන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

    මේ පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය අද (10) දින ප්‍රකාශයට පත් කර ඇත.

    සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, දේශීය ආහාර භෝග නිෂ්පාදනය සඳහා රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමනාකරණය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ වේ. එම අරමුණ පෙරදැරිව පළමු පියවර ලෙස ශ්‍රී ලාංකික පුරවැසියන්ට නිරවුල් බිමක හිමිකම තහවුරු කිරීම සඳහා විධිමත් ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම් සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත කඩිනමින් හා විනිවිදභාවයකින් යුතුව නීත්‍යානුකූල ලේඛන ලබාදීමට සැලසුම් කර ඇත. ඒ සඳහා රජයේ ඉඩම් අවිධිමත්ව භුක්ති විඳින පුද්ගලයන් ක්‍රමවත්ව හඳුනාගෙන, එම පුද්ගලයන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා නීත්‍යානුකූල ලේඛනයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.