ලොක්කෝ 10 ක් ලංකා බැංකුවේ බිලියන 2.5 කට පොලු තියලා. අළුත්ම කෝප් වාර්තාවෙන් හෙළිවන කරුණු මෙන්න!

    April, 10, 2015

    පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන නවතම අතුරු වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ ලංකා බැංකුවේ මහා පරිමාණ ගනුදෙනු කරුවන් 10 දෙනෙකු පමණක් ලබාගෙන තිබෙන ණය වලින් රුපියල් බිලියන 2.5 ක් අක්‍රීය ණය ලෙස තිබෙන බවයි.

    2014 ඔක්තෝම්බර් සහ 2015 මාර්තු මාසය යන කාල පරිච්ඡේදය සඳහා නිකුත් කර තිබෙන මෙම අතුරු වාර්තාවේ ලංකා බැංකුවෙන් ලබාගත් මහා පරිමාණ ණය නිසි ලෙස නොපියවූ ආයතන සහ සමාගම් කිහිපයකම නම් සඳහන් කර තිබීමද කැපී පෙනේ.

    මෙම සමාගම් අතර, ප්‍රින්ටින් සමාගමක්, ප්‍රසිද්ධ ඇඟලුම් සමාගමක් මෙන්ම නාවික සමාගමක් සිටී.

    කෝප් වාර්තාව අනාවරණය කර තිබෙන්නේ 2012 වසරේදී සියයට 56.3 ක්වූ ලංකා බැංකුවේ ආදායම් වර්ධනය 2013 වසරේදී සියයට 15.7 ක් දක්වා පහළ බැස තිබෙන බවයි.

    මීට අමතරව, ලංකා බැංකුව විසින් ගනුදෙනුකරුවන් 15 දෙනෙකුට පමණක් ලබාදුන් බැංකු අයිරා පහසුකම් (Overdrafts) වලින් රුපියල් මිලියන 491 ක් අයවිය යුතුව තිබෙන බවද සඳහන්ය.

    මෙම ගනුදෙනු කරුවන්ගෙන් කිහිප දෙනෙකුටම එරෙහිව බැංකුව විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් බැංකුවේ අක්‍රීය ණය අනුපාතය (non performing loan) සියයට 4.3 ක පමණ හොඳ මට්ටමක තිබෙන බවත් කෝප් වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.