ලොව ප‍්‍රමුඛතම බැංකුව 1000 ලයිස්තුවට පිට පිටම වසර 10 ක් ඇතුළත් වෙමින් කොමර්ෂල් බැංකුව ඓතිහාසික සංධිස්ථානයකට

    July, 8, 2020

    ගෞරවනීය ලැයිස්තුවට ඇතුළත් වූ පළමු දේශීය බැංකුව 2020 වසරේදී ස්ථාන 51 ක් ඉහළට

    2020 වසරේ ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු වර්ගීකරණයේ ස්ථාන 51 ක් ඉහළට යමින් මෙරට බැංකු ක්ෂේත‍්‍රයට ගෞරවයක් අත්කර දීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබෙන අතර පිට පිටම වසර 10 ක් මෙම ගෞරවණීය ලයිස්තුවට ඇතුළත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවටද කොමර්ෂල් බැංකුව පත්ව තිබේ.

    එංගලන්තයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් විසින් ප‍්‍රකාශයට පත්කරන ‘ද බෑන්කර්’ සඟරාව විසින් 50 වරට ප‍්‍රකාශයට පත් කළ ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 1000 වර්ගීකරණයේ 878 වන ස්ථානයට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබෙන අතර බැංකුවේ පළමු පෙළ ප‍්‍රාග්ධනය මෙම වර්ගීකරණය සඳහා මූලික වශයෙන් පාදක කරගෙන ඇත.

    ‘ලොව ප‍්‍රමුඛතම බැංකු 1000 වර්ගීකරණයට මුලින්ම ඇතුළත් වූ දේශීය බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. ඒ වගේම, දේශීය සහ ගෝලීය අභියෝග මැද මෙම වර්ගීකරණයේ පිට පිටම වසර 10 ක් රැඳී සිටීමට කොමර්ෂල් බැංකුව දක්වා තිබෙන මෙම සමත්කම මගින් විදහා දැක්වෙන්නේ බැංකුවේ තිබෙන ශක්තිය සහ දරාගැනීමේ හැකියාවයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘මේ අවස්ථාවේ අපි නොසිතූ ආකාරයට කොවිඞ්-19 වසංගත තත්ත්වයට මුහුණදී සිටින සමයක ගෝලීය දැවැන්තයින් සමග කරට කර සිට මෙම වර්ගීකරණයේ ඉදිරියට ගමන් කිරීමට අපට ලැබුණු හැකියාව මගින් කොමර්ෂල් බැංකුවේ සෑම සාමාජිකයෙකුම අතිශය ධෛර්යට පත්වෙනවා.’

    මෙම වර්ගීකරණයේදී ‘ද බෑන්කර්’ සඟරාව විසින් මූලික වශයෙන් පළමු පෙළ ප‍්‍රාග්ධනය පදනම් කරගනිමින් අංක 1 සිට 1000 දක්වා බැංකු වර්ගීකරණය කරන අතර ලොව බැංකු ක්ෂේත‍්‍රයේ වඩාත්ම ඇගයීමට ලක්වී තිබෙන වර්ගීකරණයක් වන ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 1000 වර්ගීකරණයේ කළාපීය ලැයිස්තුව සකස් කිරීමේදී සඟරාවේ කර්තෘ මණ්ඩලයේ අදහස්ද සැලකිල්ලට ගනී.

    කොමර්ෂල් බැංකුව 2020 වසරේදී ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් තෝරාගත් අතර බැංකුව සතුව 2019 වසර අවසන් වනවිට රුපියල් ටි‍්‍රලියන 1.4 ක වත්කම්, රුපියල් බිලියන 150 ක දළ ආදායමක්, රුපියල් බිලියන 17.4 ක ශුද්ධ ආදායමක්, රුපියල් ටි‍්‍රලියන 1.07 ක තැන්පතු පදනමක් සහ රුපියල් බිලියන 930.7 ක ශුද්ධ ණය සහ ලැබීම් සතුවිය.

    ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය සැලකීමේදී බැංකුවේ සමස්ත පළමු පෙළ ප‍්‍රාග්ධන අනුපාතය (ප‍්‍රාග්ධන ආරක්ෂණයන් සමග) 2019 දෙසැම්බර් 31 වනදා වනවිට 12.398% ක්වූ අතර බාසල් III යටතේ 2019 ජනවාරි 01 වනදා සිට ක‍්‍රියාත්මක වූ අවම අවශ්‍යතාවය වූ 10% ක මට්ටමට වඩා මෙය ඉහළින් තිබීම කැපී පෙනේ. මේ අතර, බැංකුවේ සමස්ත ප‍්‍රාග්ධන අනුපාතය 16.146% ක්වී තිබෙන අතර එය බාසල් III යටතේ වන අවම අවශ්‍යතාවය වන 14% ක මට්ටමට වඩා ඉහළින් තිබේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.