ලොව සතුටුම මිනිසා නොහොත් මග්ගොන සුගතපාල අද කියන කතාව මෙන්න! (Video)

    March, 20, 2015

    ලොව සතුටින්ම සිටින මිනිසා ලෙසින් පසුගියදා ලෝක සම්මානයට පාත්‍රවූ මග්ගොන නිව් මෝනිස් බේකරියේ ආරක්ෂක සේවකයෙකු ලෙසින් කටයුතු කරන වැලිපැන්න විතානගේ සුගතපාල මහතා ලෝක සතුටු දිනය (World Happiness Day) යෙදෙන අද අප සමග පිළිසඳරකට සහභාගී විය.

    YouTube ඔස්සේ පැවැත්වූ ‘Happiest Man in the World’ නැමති තරගයෙන් වැඩිම මනාප ගණනක් ලබා ලොව සතුටින්ම සිටින මිනිසා ලෙසින් සුගතපාල මහතා පසුගියදා සම්මානයට පාත්‍රවූ අතර මෙම ජයග්‍රහණයෙන් පසුව තමාගේ සතුට තවත් වැඩිවූ බවයි ඔහු අප සමග සඳහන් කළේ.

    තමා දේශපාලන කාරණා ගැන උනන්දුවක් නොමැති නිසා මෙරට දේශපාලනය පිළිබඳව කිසිදු දුකක් තමාට නොමැති බවත් තමා නිතරම සිටින්නේ සතුටෙන් බවත් ජාතිභේද, ආගම් භේද තමා තුළ නැති බවත් සුගතපාල මහතා අප සමග පැවසුවේ ඔහුටම ආවේණික වූ සුන්දර සිනාවෙන් මුව සරසාගෙනයි.

    තමා නිතරම උත්සාහ කරන්නේ අන් අය සතුටුකර සන්තෝෂයෙන් ජීවත්වීමට බවත් බෞද්ධයෙකු වන තමා ඇතිවූ සියළු දේ නැතිවන්නේය යන සත්‍ය හොඳින්ම දන්නා බවත් කීය.

    තමා කිසිවෙකුටත් වෛර නොකරන බවත් අන් අයගේ සතුට හා දියුණුව දැක තමාද හදවතින්ම සතුටු වන බවත් ලෝකයේ සතුටින්ම සිටින මිනිසා ලෙසින් තමාට මෙවන් අභිමානයක් ලැබුණේ ඒ හේතුවෙන් බවත් සුගතපාල මහතා පැවසීය.

    60 වනවියේ පසුවන තළෙළු පැහැයෙන් සහ හීන්දෑරි සිරුරකට හිමිකම් කියන වැලිපැන්න විතානගේ සුගතපාල මහතා මුලින්ම ගල්කිස්සේ වැඩපොළක රැකියාව කර තිබෙන අතර එම වැඩපොළ වසා දැමීම නිසා රැකියාව අහිමිවී ඇත.

    පසුව ඔහු මග්ගොන නිව් මෝනිස් බේකරියේ ආරක්ෂක සේවකයෙකු ලෙස සේවයට එක්වී තිබෙන අතර මේ වනවිට එහි අවුරුදු 11 ක් සේවය කර තිබේ.

    ලෝකයේ සතුටින්ම සිටින මිනිසා ලෙසින් සුගතපාල මහතා තෝරාගෙන තිබෙන්නේ ඉතාමත් කටුක වෘත්තියක් වෙනුවෙන් නව ආරක තෘප්තිමත් සේවා විලාශයක් හඳුන්වා දෙමින් ලොවටම අළුත් ආදර්ශයක් ලබාදීමට ඔහු සමත්ව තිබෙන නිසායි.

    ලොව ජනතාවගේ සතුට පිළිබඳව 2013 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් කරන ලද වාර්තාවට අනුව රටවල් 156 ක් අතුරින් ලංකාවට හිමිව තිබෙන්නේ 137 වන ස්ථානයයි.

    මේ අතර, මෙරට ජනතාව තුළ ධනාත්මක බව වර්ධනය කරමින් ලංකාව සතුටු දේශයක් බවට පත්කිරීමේ අරමුණෙන් GSK සමාගම “පැනඩෝල් සහනාභිමානී“ නමින් වැඩසටහනක් දියත් කරන බව අද කොළඹදී දැනුම් දුන්නේය.

    ලොව සතුටින්ම සිටින පුද්ගලයා ලෙසින් කිරුළු පැළඳි වැලිපැන්නගේ සුගතපාල මහතා අප සමග සිදුකළ පිළිසඳර මෙන්න!

    සුගතපාල මහතා පිළිබඳව YouTube ඔස්සේ ප්‍රසිද්ධ වූ වීඩියෝව පහතින්

    s02s03