March, 10, 2020
මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීඝ්රයෙන් පහළ යන පසුබිමක එහි වාසිය ශ්‍රී ලාංකික ජනතාවට ලබා දිය හැකිද? මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති එම්.යූ. මොහොමඩ් මහතා කියා සිටියේ මෙවැනි අවස්ථාවක දී තෙල් මිල අඩුවීමේ වාසිය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව හෙජිං ගිවිසුමක් කරා යා යුතු බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මොහොමඩ් මහතා මෙසේ කියා සිටියේය.
“මේ අවස්ථාවේ දී රජයටත් රජයේ ඉහළ නිලධාරීන්ටත් මම කියන්නේ, මගේ අදහස වෙන්නේ අපි හෙජිං එකකට යන්න ඕනේ. ඒ කියන්නේ ඉහළ මිල පරාසයත් පහළ මිල පරාසයත් අතර හෙජිං එකකට ගිහිල්ලා, ඒ හෙජිං එකෙන් ලැබෙන වාසිය ජනතාවට ලබා දෙන්න ඕනේ.“
“අද තෙල් බැරලයක මිල බ්ලූම්බර්ග් වාර්තාවන්ට අනුව ඩොලර් 29, 30, 31 ට යනවා. සති දෙකකට කලින් මෙය 54 ක් තිබුණේ. මේ මිල තවත් අඩුවෙනවා කියලා කියනවා. ඔපෙක් රටවල් සහ රුසියාව අතර තිබෙන මතභේද මෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකය මන්දගාමී වීම නිසා ඉල්ලුම අඩුවෙලා තිබෙනවා. ඉල්ලුම අඩුවීම කෙටිකාලීන දෙයක් වෙන්න පුළුවන්. බ්ලූම්බර්ග් කියනවා තෙල් මිල ඩොලර් 20 දක්වා පහළට යයි කියලා.“
“රටක් ලෙස අපි ක්‍රමයකට එන්න ඕනේ. හෙජිං එකකට ගිහිල්ලා, උපරිම සහ අවම මිල පරාසය තීරණය කරලා, ඒ තුළ අවුරුදු 2,3 කට මිල දී ගැනීමට ව්‍යාපෘතියක් වහාම අනුගමනය කළ යුතු බව තමයි මගේ බලාපොරොත්තුව. එතකොට තමයි අපිට ලාබෙට පැට්‍රොල් එන්නේ, එතකොට තමයි අපිට ජනතාවට ලාබෙට පැට්‍රොල් ලබා දෙන්න පුළුවන්.“
මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් කියා සිටින්නේ මෙම අවස්ථාවේ දී තමන් මුදල් අමාත්‍යවරයා වශයෙන් දිගටම කටයුතු කළා නම්, සෑම වර්ගයකම ඉන්ධන මිල ගණන්වල ලීටරයක මිල රු. 20.00 බැගින් අඩු කළ හැකි බවයි.
අදාළ සටහන පහතින් දැක්වේ.
Video Story