• Ada Derana BIZ Sinhala
  • Brandix
  • sri lanaka
  • WorldEnvironmentDay2022

ලෝක පරිසර දිනයට රුක්රෝපණයෙන් නව හුස්මක් දෙන බ්‍රැන්ඩික්ස්

June, 7, 2022

බ්‍රැන්ඩික්ස් සමාගම ලෝක පරිසර දිනය වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග එක්වී රඹුක්කන ප්‍රදේශයේ අක්කර 10 ක භූමි භාගයක හානි වූ වන ගහනය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ප්‍රතිවනරෝපණය කිරීමට කටයුතු කළේ ය. බ්‍රැන්ඩික්ස් සමාගම දශක එකහමාරකට අධික කාලයක් තිස්සේ තම ව්‍යාපාරික කටයුතු හා එක්වූ වියමනක් ලෙස පරිසරය සුරැකීම සඳහා විශාල අවධානයක් යොමුකර තිබේ. මෙහි තවත් පියවරක් වශයෙන්, රඹුක්කන බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි භූමියක පැළ 3,000 ක් සිටුවන ලදි. මෙම අවස්ථාවට නිශාන්ත එදිරිසිංහ - වන සංරක්ෂක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සම්පත් රණසිංහ, UNDP හි වැඩසටහන් සම්බන්ධීකාරක (බලශක්ති සහ අපද්‍රව්‍ය) සහ බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්‍රධානී අහමඩ් ඉල්තිමාස් යන මහත්වරුන්ද එක් වුහ.

තම ව්‍යාපාර කටයුතුවල මෙන්ම තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වයන්ගේ දීර්ඝකාලීන යහපත සඳහා බ්‍රැන්ඩික්ස් සමූහය, වාතය, ජලය සහ මහපොළොව යන ප්‍රධාන සාධක තුන මත පදනම් වූ තිරසර රාමුවකට අනුව කටයුතු කරයි. සෑම අවස්ථාවකදී ම තම සාමාජික සාමාජිකාවන්ට හා ප්‍රජාවන්ට යහපත සලසමින්, උපරිම තිරසාරත්වය ළඟාකර ගැනීම බ්‍රැන්ඩික්ස් සමාගමේ පරමාර්ථයයි.

“මිහිතලයේ භෞමික ජෛව විවිධත්වය බොහෝ දුරට ආරක්ෂා වී පවතින්නේ වනාන්තර තුළයි. ඒවා තුළ වැවෙන ශාක, දේශගුණ විපර්යාස අවම කිරීමට සුවිශාල දායකත්වයක් ලබාදෙන අතර, උසස් තත්ත්වයේ ජලය සපයමින්, ආහාර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය බොහෝ පරාග කාරක සඳහා වාසස්ථාන ලෙස ක්‍රියාකරනවා. ඒ අනුව, මානව වර්ගයාට අවශ්‍ය ආහාර සැපයීම සහ පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම යනු එකිනෙක මත රඳා පවතින ඉලක්ක ලෙස පෙන්වා දීමට පුළුවන්.” බ්‍රැන්ඩික්ස් හි තිරසාරත්ව පාරිසරික ඉංජිනේරු විනුර ජයවර්ධන මහතා පැවසී ය.

මෙම ව්‍යාපෘතිය සඳහා Gaaya පැළ භාවිතා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විනුර ජයවර්ධන මහතා පැවසුවේ මෙම ගස් වලින් වැටෙන අතු දර ලෙස බහුලව භාවිතා වන නිසා, එය අවට ජනතාවටද බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති බවයි. “ශ්‍රී ලංකාවේ දැනට පවතින බලශක්ති ගැටලුව සහ ඉදිරියේදී ඇතිවනු ඇතැයි අනුමාන කෙරෙන ආහාර අර්බුදය වැනි ගැටලු නිසා, මෙය අතිශය කාලෝචිත පියවරක් වනු ඇතැයි කියා අප සිතනවා. එය අප කාගේත් පැවැත්මට අතිශයින් වැදගත් වේවි.” ජයවර්ධන මහතා පැවසී ය.

මීට පෙරද බ්‍රැන්ඩික්ස් සමූහය තිරසාරත්වය වෙනුවෙන් තමන් තුළ ඇති කැපවීම මැනැවින් ප්‍රදර්ශනය කර තිබේ. උදාහරණයක් ලෙස 2019 වසරේදී එහි මඩකලපුව කර්මාන්තශාලාව ලොව ප්‍රථම ‘Net Zero Carbon’ පිළිගැනීම හිමි වූ ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත්වූ අතර, 2008 වසරේදී එහි සීදූව කර්මාන්තශාලාව ‘LEED Platinum’ ශ්‍රේණිය හිමිකරගත් ලොව ප්‍රථම ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත් විය. මෙවැනි හරිත ගොඩනැගිලි, දේශගුණ විපර්යාස අවම කිරීමට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටද කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. හුදෙක් අහිතකර බලපෑම් අවම කිරීමෙන් නොනැවතී, විවිධ මානයන් රැසක් ඔස්සේ ඵලදායී වෙනස්කම් ඇතිකරමින් පරිසරයට සැබෑ පරිවර්තනයක් සිදුකිරීම සඳහා, රඹුක්කන ප්‍රදේශයේ ක්‍රියාවට නැංවූ වන වගා ව්‍යාපෘතිය වැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීමටද බ්‍රැන්ඩික්ස් සමූහය දිගින් දිගටම කටයුතු කරමින් සිටී.

“මේ වනවිට ලෝකය දේශගුණ විපර්යාස අතින් අතිශය අවදානම් 'code red' තත්ත්වයකට පැමිණ තිබෙනවා. එමෙන්ම ලොව පුරා ස්වභාවධර්මය සහ ජෛව විවිධත්වය අහිමි වෙමින් යනවා. මෙම වසරේ 2022 ලෝක පරිසර දිනයේ තේමාව වන #OnlyOneEarth යන්නෙන් ගෝලීය මට්ටමෙන් සැබෑ පරිවර්තනයක් සිදුකිරීම සඳහා අප සතු එකම මිහිතලය සැමරීම, සුරකීම සහ යළි යථා තත්ත්වයට ගෙන ඒමේ සාමූහික දායකත්වය අවධාරණය වනවා. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගෙ සංවර්ධන වැඩසටහන, පාරිසරික කළමනාකරණ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සහ අපගේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා සහාය වන අතරම පුනර්ජනනීය බලශක්තියේ විභවයන් ගවේෂණය කරමින් දේශගුණික විපර්යාසවල බලපෑම් සහ ස්වභාවික මෙන්ම මිනිස් ක්‍රියාවන් වල විපාක නිසා සිදුවන විපත්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා දිගුකාලීන සහාය ලබා දී තිබෙනවා. බ්‍රැන්ඩික්ස් සමඟ පවතින මෙම හවුල්කාරිත්වය තුළින් හරිත සංවර්ධන මාවතක් මත ගොඩනැගුණු තිරසාර ශ්‍රී ලංකාවක් සඳහා කල්පවත්නා සුබවාදී බලපෑම් ඇති කිරීමට අපි බලාපොරොත්තු වනවා." යනුවෙන් ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වැඩබලන නේවාසික නියෝජිත, මලින් හර්විග් මහතා ප්‍රකාශ කළේය.

මානව ක්‍රියාකාරකම් හෝ ස්වාභාවික උපද්‍රව නිසා හානි වූ වන ගහනයන් ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම සඳහා එම භූමි ප්‍රදේශවල නැවත වන වගා කිරීම සිදුකෙරේ. මෙය අදාළ පරිසරයේ සමබරතාව නැවත ඇතිකරන වැදගත් පියවරකි. මෙමගින් වනජීවී වාසස්ථානවල ජෛව විවිධත්වය සහ පසේ සාරවත් බව වැඩිදියුණු වීමට අමතරව, වාතයෙන් කාබන් වෙන් කිරීම හරහා වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වීමෙන් අප ආශ්වාස කරන වාතය වඩාත් යහපත් වීමද සිදු වේ.

ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමවලට නිෂ්පාදන සපයන ඇඟලුම් නිෂ්පාදකයෙකු වශයෙන්, තම ව්‍යාපාර කටයුතුවලට, පාර්ශ්වකරුවන්ට, ප්‍රජාවන්ට සහ මිහිකතට යහපත සැලසෙන ආකාරයට දේශගුණ විපර්යාස අවම කිරීමට දායක වන දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාවට නැංවීම අතිශයින් වැදගත් බව බ්‍රැන්ඩික්ස් සමාගමේ විශ්වාසයයි. ඉදිරියටත් විවිධ පාර්ශ්ව සමග අත්වැල් බැඳගනිමින්, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව තම මෙහෙයුම් නිරන්තරයෙන් හැඩගස්වා ගනිමින්, දිගින් දිගටම තිරසර වර්ධනයක් උදෙසා කැපවීම බ්‍රැන්ඩික්ස් සමූහයේ අරමුණ වී තිබේ.

 

බ්‍රැන්ඩික්ස් හි තිරසාරත්ව පාරිසරික ඉංජිනේරු විනුර ජයවර්ධන මහතා උත්සවය අමතමින්

වමේ සිට - සම්පත් රණසිංහ, UNDP හි වැඩසටහන් සම්බන්ධීකාරක (බලශක්ති සහ අපද්‍රව්‍ය), බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්‍රධානී අහමඩ් ඉල්තිමාස් සහ නිශාන්ත එදිරිසිංහ - වන සංරක්ෂක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

පින්නවල ජාතික පාසලේ සිසුවියන් රුක් රෝපණයට දායක වන අවස්ථාව

 

ඡායාරූපය - බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්‍රධානී අහමඩ් ඉල්තිමාස් ගස් 3,000 න් පළමුවැන්න රෝපණය කරන අවස්ථාව