ලෝක බැංකුවෙන් කොළඹට කිරි

    February, 7, 2014

    බත්තරමුල්ල පසුකරන ඕනෑම අයෙකුට සුන්දර ලෙස සැකසූ වෝටර්ස් එජ් පරිශ්‍රය එසේත් නැත්නම් දියත උද්‍යානය දැකගත හැකියි.

    කොළඹ නගරයේ ජල ගැලීම් පාලනය කිරීම, ජලය ගලායාමට තිබෙන බාධාවන් ඉවත් කිරීම හා විනෝදාස්වාද ස්ථාන ඇති කිරීම ඇතුළු නවීකරණය අරමුණු කරගත් ඩොලර් මිලියන 220 ක් වැය කිරීමට ඇස්තමේන්තු කර තිබෙන ලෝක බැංකු ව්‍යාපෘතියේ කොටසක් ලෙසයි මෙම පරිශ්‍රයට නැවුම් ස්වරූපයක් එක්කර තිබෙන්නේ.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ලෝක බැංකුවේ කොළඹ ශාඛාවේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නාගරික විශේෂඥයෙකු වන රොසානා නිට්ටි මහත්මිය පවසන්නේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 පමණම කොළඹ නාගරික කළාපයෙන් ලැබෙන බවයි.

    මීට අමතරව, මෙරට කාර්මික නිෂ්පාදන වලින් සියයට 80 ක් සඳහාම කොළඹ නාගරික කළාපය දායකත්වය දක්වන බව ලෝක බැංකුව පවසයි.

    මේ නිසා, මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා කොළඹ නාගරික කළාපයේ තිබෙන සාපේක්ෂ වාසි භාවිතා කළ යුතුයැයි ලෝක බැංකුව අවධාරණය කරයි.

    මෙවැනි අරමුණක් පදනම් කරගත් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී කුඩා වැස්සකින් පවා යටවන කොළඹ නාගරික කළාපයේ ස්ථාන 45 ක් පමණ යථාතත්ත්වයට පත්කිරීමට සැලසුම් කර තිබෙන බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

    එසේම, කොළඹ කළාපයේ ඇල මාර්ග පිළිසකර කිරීම, වැව් කිහිපයක් හෑරීම, වැව් වටා ඇවිදීමේ පහසුකම් ඇති කිරීම, ජලාශ්‍රිත විනෝදාස්වාද ස්ථාන පිහිටුවීම, නවීන වැසිකිලි පහසුකම් හා පාර මාරුවීම සඳහා ගුවන් පාලම් ඉදිකිරීමටද සැලසුම් කර තිබේ.

    දෙහිවල, ගල්කිස්ස, කොලොන්නාව යන පළාත් පාලන ආයතන වලට නගරය පිරිසිදුව තබා ගැනීමට පුහුණුවක් හා උපකරණ ලෝක බැංකු වැඩසටහන යටතේ ඉදිරියේදී ලබාදීමට නියමිත අතර කෝට්ටේ, බැද්දගාන තෙත් බිමද සංරක්ෂණය කිරීමට සූදානම්.

    කොළඹ පුරහල නවීකරණය කිරීම, මාර්ග පළල් කිරීම හා අලංකරණය කිරීමද මෙම ව්‍යාපෘතියේ කොටසක්.

    මේ පිළිබඳව අදහස් දක්වමින් සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙය ලෝක බැංකුවේ වේගයෙන්ම ක්‍රියාත්මක වන ව්‍යාපෘති වලින් එකක් බවයි.

    මෙම ව්‍යාපෘතිය සඳහා වසර 25 ක පමණ වර්ෂාපතන දත්ත යොදා ගත්බව ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ නාගරික විශේෂඥ රොසානා නිට්ටි මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.