ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් සම්මානයෙන් පිඳුම් ලබයි

    December, 11, 2017

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වියට්නාමයේ ෆූ ක්වොක් (Phu Quoc ) හි පැවති ලෝක සංචාරක සම්මාන (World Travel Awards) ජාත්‍යන්තර උළෙලේ දී “ඉන්දියානු සාගර කලාපයේ ලොව ප්‍රමුඛතම ගුවන් සේවය” (“World’s Leading Airline to the Indian Ocean” ) ලෙස සම්මානයෙන් පිඳුම් ලැබීය. ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් 13 ක් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබිණි.

    මෙම සම්මානය දිනා ගැනීම තුළින් දකුණු ආසියා කලාපයේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රබලත්වය තහවුරු වන අතර ගුවන් සමාගම මේ වන විටත් දකුණු ආසියානු කලාපයේ ගමනාන්ත 14 ක් වෙත සතියකට ගුවන් ගමන් වාර 133ක් සිදුකරයි.( බුද්ධගයා සහ වරණාසි වෙත වන්දනා සමයන් හි සිදු කරන ගුවන් ගමන් මෙහෙයුම් ඇතුළුව) ඩකා, කරච්චි සහ ලාහෝර් වැනි ජනප්‍රිය නගරවලටද ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහෙයුම් සිදුකරයි. මාලදිවයින ශ්‍රී ලංකාවේ දිගුකාලීන වෙළඳපොලක් වී ඇති අතර ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම මාලදිවයින වෙත සතියකට ගුවන් ගමන් වාර 31 ක් පිරිනමයි. එසේම ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කරමින් නිවාඩු සංචාර සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මැදපෙරදිග, යුරෝපය, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව වෙත මෙහෙයුම් සිදු කරයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දුපත වෙත ගුවන් මෙහෙයුම් සිදු කළ ප්‍රථම අන්තර්ජාතික ගුවන් සේවය වන අතර ඒ අනුව මාලදිවයිනේ ගමනාන්ත දෙකක් වෙත ද මෙහෙයුම් සිදුකරන එකම ගුවන් සමාගම බවට ද පත්විය.

    2017 වසරේ ශ්‍රීලංකන් ගුවන් සමාගම , ලෝක සංචාරක සම්මාන ආසියානු කලාපීය සම්මාන උළෙලේ දී (WTA Asia Ceremony) ආසියාවේ ප්‍රමුඛතම සංස්කෘතිකමය වටිනාකමින් යුත් ගුවන් සේවය (“Asia’s Leading Cultural Airline” ) ලෙස සහ එම උළෙලේ දී ම ඉන්දියානු සාගර කලාපයේ ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය” (Asia's Leading Airline to the Indian Ocean”) ලෙස ද පසුගියදා පැසසුම් ලැබීය. ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ලඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාඩම්බර සාමාජික ගුවන් සේවයකි.