වංචා සහගත මූල්‍ය ගනුදෙනු/වංචනික විද්‍යුත් තැපැල් පණිවිඩ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි

    November, 14, 2018

    විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍යයන් ඔස්සේ මෑත කාලීන ව ව්‍යාප්ත වන ජනතාව මුලා කරවන සුලු මූල්‍ය වංචාවන්ට අදාළ පණිවිඩ පිළිබඳ ව මහජනතාව වෙතින් ඉදිරිපත් වී ඇති දුක් ගැනවිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමට මහජනතාව පොළඹවා ගැනීම සඳහා විශ්වාසදායී ආයතන ලෙස පෙනී සිටිමින් මෙම වංචාකරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකු ලාංඡනය, මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලෙහි රූප සහ මහ බැංකුවේ සේවය කරන ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ නම් භාවිත කරන බව ද වාර්තා වී ඇත.

    cbs.banklanka@asia.com, info@cbsl-lk.com, customercare@cbsl-lk.com වැනි ව්‍යාජ විද්‍යුත් තැපැල් ලිපිනයන් මෙකී විද්‍යුත් තැපැල් හුවමාරු කටයුතු සඳහා යොදා ගැනේ. දුරකථන අංක ඔස්සේ  සිදු කරන ලද දිනුම් ඇදීමකින් හෝ යම්කිසි ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයක ප්‍රවර්ධන කටයුත්තකට අදාළ ව හෝ තමන්ට විදේශ මුදලින් විශාල මුදල් ත්‍යාගයක් හිමි වී ඇති බවට මෙම විද්‍යුත් ලිපි ලබන්නන්ට දැනුම් දෙනු ලබන අතර අදාළ ත්‍යාග මුදල් වෙනුවෙන් හිමිකම් පෑම පිණිස යම්කිසි මූලික මුදලක් තැන්පත් කරන ලෙස ද දැනුම් දෙනු ලැබේ. තව ද මෙම විද්‍යුත් පණිවිඩ මගින් අදාළ ත්‍යාග මුදල හිමි කර ගැනීමට පෙරාතුව සිය අනන්‍යතාව තහවුරු කිරීම පිණිස විදේශ ගමන් බලපත්‍ර/ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් විස්තර වැනි පෞද්ගලික තොරතුරු අනාවරණ කරන ලෙස ද දන්වා ජනතාව මුලා කර ඇත.

    මෙවන් මූල්‍ය ත්‍යාග වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු සම්බන්ධයක් නොමැති බව මහජනතාව වෙත දැනුම් දෙමු. තව ද, මෙම කරුණ පිළිබඳ ව නිසි පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීතිය බලාත්මක කරනු ලබන අධිකාරීන් දැනුම්වත් කර ඇත. එම නිසා මෙවන් වංචා සහගත මූල්‍ය ගනුදෙනුවල ගොදුරු බවට පත් නොවන ලෙසත්, ඔබටත් එවන් මුදල් ත්‍යාග සම්බන්ධයෙන් යම්කිසි පණිවිඩයක් විද්‍යුත් තැපෑලෙන් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණහොත් පළමුව එකී සැක කටයුතු විද්‍යුත් පණිවිඩය එවන ලද තැනැත්තන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අදාළ ආයතනය/සමාගම අමතන ලෙසත්, ඉන්පසු එහි වංචා සහගත බවක් ඇති බව වැටහුණහොත් අදාළ විමර්ශන කටයුතු සඳහා ළඟ ම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.