වකුගඩු රෝගය පැතිරයාම වළක්වාලීමේ සටනට ජිනසේන ජල කළමණාකරණ විසඳුම් එක්වෙයි

    June, 14, 2016

    ශ්‍රී ලංකාවේ ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ප්‍රමුඛ සමාගමක් වන ජිනසේන සමාගමේ ජල පවිත්‍රාගාර විසඳුම් සඳහා ඇති ඉල්ලුම ඉහළ යයි. වකුගඩු රෝගය පැතිරයාම වළක්වාලීම සඳහා අවධානම් ප්‍රදේශවල ජනතාවට ජල පවිත්‍රාගාර සඳහා වන ඉල්ලුම මෙලෙස ඉහළ ගොස් තිබේ.

    ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ජිනසේන සමාගම සාමාන්‍ය ජල සැපයුම් ක්‍රියාවලිය, භාවිත කළ ජලය යළි පිරිසිදුකරනය සහ යළි භාවිතයට ගැනීමේ ක්‍රියාවලිය ආදිය සඳහා විසඳුම් සපයයි. ආස්‍රැත ජලය නිපදවීමේ උපකරණ, රසායනික පිරිසිදුකිරීම් සිදුකරන වතුර පොම්ප,වායු පද්ධති, UV ආරක්ෂණ පද්ධති, ජල මෘදුකාරක, යකඩ ඉවත් කිරීමේ සහ පිරිපහදුකරණ ආදී පද්ධතින් රැසක් සපයයි. තවද ජල පෙරුම්කරණ සේවා සහ ජල පෙරුම්කාරක සවිකිරීම මෙන්ම ජල සාම්පල පරීක්ෂාව ආදී සේවා රැසක් ද සපයනු ලබයි. කොළඹ සහ අනුරාධපුර නගර වල ජිනසේන සමාගම විසින් ජල සාම්පල පරීක්ෂණ මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා තිබේ. ඇමරිකාවේ HATCH පරීක්ෂණාගාරයේ තාක්ෂණයට සමාන තාක්ෂණයකින් මෙම පරීක්ෂණාගාර තුළ ජල සාම්පල පරීක්ෂා කරනු ලබයි.

    වසර 2005 සිට ජිනසේන සමාගම දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා පරිමාණ ජල පවිත්‍රාගාර ස්ථාපනය කරමින් සිටියි. වසර තුනක් තුළ දිවයින පුරා විවිධ ආයතන සහ සංවිධාන සඳහා ජල පවිත්‍රාගාර පද්ධති 60 ක් පමණ ස්ථාපනය කිරීමට ජිනසේන සමාගම සමත්වී තිබේ. මේ අතරින් බහුතරයක් වකුගඩු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන ප්‍රදේශවල පිහිටුවීම ද විශේෂත්වයකි. එම ව්‍යාපෘති සඳහා දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන අනුග්‍රහය දක්වා තිබේ. එමෙන්ම හමුදා කඳවුරු තුළ ජල පවිත්‍රකරණ පද්ධතීන් ස්ථාපිතකිරීම සඳහා විවිධ සමාගම් රැසක් සිය ප්‍රජා සේවා අරමුදල් යොදවමින් කටයුතු කර තිබේ.

    පාරිභෝගිකයින් විසින් සපයන ජල සාම්පල අති නවීන තාක්ෂණික පහසුකම් සහිත විද්‍යාගාර තුළදී පරීක්ෂා කරන ජිනසේන සමාගමේ විශේෂඥයින් ඒ ඒ සාම්පලයට අදාල ජලයේ තත්වය මැනවින් හඳුනා ගනිමින් එම ජල සාම්පලයට ගැලපෙන පවිත්‍රකරණ විසඳුම සපයයි. මෙම පවිත්‍රකරන විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අනිකුත් උපාංග ජිනසේන සමාගම සමඟ වසර ගණනාවක් පුරා කටයුතු කරන විවිධ ආයතන විසින් සපයන අතර එම පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසු දිවයින පුරා ස්ථාන 19 ක පිහිටුවා ඇති ජිනසේන අලෙවි මධ්‍යස්ථාන මඟින් අලෙවියෙන් පසු සේවා සපයනු ලැබේ.

    සිය සමාගමේ නවතම පියවර සම්බන්ධයෙන් අදහස් දක්වන ජිනසේන සමාගමේ ජල පවිත්‍රකරණ අංශයේ කළමනාකාරිණි, පුර්ණිමා වීරකෝන් මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක ජනතාව දරුණු වකුගඩු රෝගයකට ගොදුරු වෙමින් සිටින අවස්ථාවක ඊට එරෙහි සටනේ පෙරමුණ ගැනීමට තම සමාගම සූදානම් බවයි.ජනතාවට පානය සඳහා පිරිසිදු ජලය සැපයීමේ කාර්යය මූලික කර ගනිමින් තමන් කටයුතු කරන බවත් සඳහන් කළාය. මේ වනවිට මහා පරිමාණ ව්‍යාපාර සහ දේශිය හා විදේශිය රාජ්‍ය නොවන සංවිධාන සහ අනිකුත් ආධාර සංවිධාන සමඟ වකුගඩු රෝගයට ගොදුරුවීමේ අවධානම සහිත ප්‍රදේශවල සිය කාර්යය ඉටු කරමින් සිටින බව ද ඇය පෙන්වා දුන්නාය.මේ අනුව මෑතකදී බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ එක්වී අනුරාධපුර පදවිය ප්‍රදේශයයේ පවුල් 250 කට අවශ්‍ය පිරිසිදු ජලය සැපයීම සඳහා පවිත්‍රකරණ ඒකකයක් පිහිටවූ බව ද ඇය පෙන්වා දුන්නාය.

    වර්ෂ 1905 ජිනසේන සමාගම ආරම්භ වූයේ ශ්‍රී ලාංකිකයෙකුට හිමි ප්‍රථම ඉංජිනේරුමය සමාගම ලෙසිනි.පසුව මෙම සමාගම 1932 දී මෙරට ප්‍රමුඛ ඉංජිනේරු සමාගම් 5 අතරට ශ්‍රේණිගත කෙරින.පසුව 1950 වසරේදී මෙම සමාගමේ ආරම්භකයා වූ ටී. ජිනසේන මහතාගේ පුත්‍රයා විසින් ජිනසේන සෙට්‍රික් වතුර පොම්පය මුල් වරට නිපදවීය. එතැන් පටන් මේ දක්වා සම්පුර්ණයෙන්ම මෙරටදී නිපදවන එකම වතුර පොම්පය වන්නේ ජිනසේන සෙට්‍රික් වතුර පොම්පයයි. අලෙවියෙන් පසු සේවාව සහ අවශ්‍ය තරම් අමතර කොටස් මෙන්ම දිගු කලක් තිස්සේ පවතින විශ්වාසය යනාදී කරුණු මත ජිනසේන වතුර පොම්පය මේ වනවිට ජනතාව අතර ප්‍රමුඛ නමක් දිනා සිටියි. මේ වනවිට ජිනසේන සමාගම ජල පොම්පකරණ විසඳුම්සහ වාරිමාර්ග විසඳුම් මෙන්ම ජල පිරිසිදුකරණ විසඳුම් සපයයි.

    එකම වහලක් යටදී සියලුම ජල ආශ්‍රිත විසඳුම් ලබාගත හැකි සමාගම් කිහිපය අතුරින් ප්‍රමුඛ තැනක් ජනසේන සමාගමට හිමිව තිබේ.මීට අමතරව මෙම සමාගම පුනර්ජනනීය බලශක්ති විසඳුම් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සපයීමේ කාර්යයේද නිරත වන්නේ “විවිධ හැකියාවන්ගෙන්යුත් එකම විශ්වාසනීය නාමයක් “ යන තේමාව පසක් කරමිනි.