වතු කම්කරුවන්ට නව නිවාස 39,150 ක් නිම කරමින් වැවිලිකරුවන්ගේ සංගමය ලෝක ජනාවාස දිනය සමරයි

    November, 2, 2020

    ප‍්‍රාදේශීය වතු සමාගම්වලට (RPC) අයත් වතු කම්කරුවන්ට නව නිවාස 39,150 ක් නිම කිරීම සඳහා එම ආයතන විසින් ගනු ලැබූ පුළුල් ක‍්‍රියාමාර්ග පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) පැසසුමට ලක් කර ඇත. මෙම මස මුලට යෙදී තිබුන ලෝක ජනාවාස දිනය සැමරීම වෙනුවෙන් වතු කම්කරුවන්ගේ සංගමය පවසා සිටියේ ප‍්‍රාදේශීය වතු සමාගම්, වැවිලි වෘත්තීය සමිති සහ ශ‍්‍රී ලංකා රජය යන අංශ තුන එක්ව සැදුම්ලත් වැවිලි මානව සංවර්ධන භාරයේ (PHDT) මෙහෙයවීම යටතේ වතු කම්කරුවන්ට ඉදිරි වසර පහ තුළ තවත් නිවාස 10,000 ක් ඉදිකර භාර දෙනු ලබන බවයි.

    මිලියනයකට වඩා මඳක් වැඩි සමස්ත ජනගහනයක් සමඟ පවුල් 251,950 ක් දැනට ප‍්‍රාදේශීය වතු සමාගම්වල සිටින නමුත් සමස්ත ලියාපදිංචි වතු කම්කරුවන් සංඛ්‍යාව 135,000 ක් පමණකි. එම ආයතනවලට අයත් වතුවල වාසය කරන පවුල්වලින් 16%කට පමණ නව නිවාස ලැබී ඇති අතර 57% කට පමණ ඔවුන්ගේ නිවාස නැවත සෙවිලි කර දී ඇත.

    මෙම සෑම නිවෙසක්ම පර්චස් 7ක ඉඩමක වර්ග අඩි 550ක භූමි ප‍්‍රදේශයක ඉදි කිරීමට නියමිත අතර එක් නිවසක වටිනාකම රුපියල් මිලියනයකි. මේ සෑම නිවාසයක්ම කාමර දෙකකින්ද, සාලයකින්ද, මුළුතැන්ගෙයකින් සහ වැසිකිළියකින් සමන්විත වන අතර නල ජල පහසුකම් ද ඇත. ගෙවතු වගාව සඳහා භාවිතා කළ හැකි පරිදි පර්චස් 3ක භූමි ප‍්‍රදේශයක් ද නිවෙස් වටා ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සහ එයිට්කන් ස්පෙන්ස් හි ඇල්පිටිය වැවිලි සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී භාතිය බුළුමුල්ල මහතා ‘‘අපගේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන ශක්තිය වන්නේ මානව සම්පතයි. මෙම විවිධ නිවාස ව්‍යාපෘති තුළින් අපගේ වතු කම්කරු ජනතාවගේ සුභසාධනය හා ජීවන තත්වය නගා සිටු වීමට අප දරන කැපවීම නැවත අවධාරණය කරනවා’’ යනුවෙන් පැවසුවේය.

    ශ‍්‍රී ලංකාවේ වැවිලි සමාගම් වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳව අඛණ්ඩව අවධාරණය කර ඇති බුළුමුල්ල මහතා වතු කම්කරුවන් 135,000 කට මෙන්ම මිලියනයකට අධික පදිංචිකරුවන් (ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වෙනත් ස්ථානවල සේවය කරයි) සංඛ්‍යාවකට නිවාස ලබා දීමේ දී සංගමය උපරිම කැපවීමකින් කටයුතු කර ඇති බව ද පෙන්වා දුන්නේය.

    ‘‘අපගේ වතු සමාගම්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා පසුගිය වසර කිහිපය පුරාවටම ස්ථිර පියවර ගෙන තිබෙනවා’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරන අතරම, නැවත සෙවිලි කිරීමේ කටයුත්ත තාවකාලික පියවරක් ලෙස සිදු කරන බව ද පැවසුවේය. ‘‘නිවාස සඳහා දැඩි ඉල්ලූමක් පවතින නිසා සැමටම නව නිවාස ඉදිකිරීමට සැලකිය යුතු කාලයක් සහ සම්පත් අවශ්‍ය වනවා. එනිසා නව නිවාස හිමිවන තුරු දැනට පවතින යටිතල පහසුකම් සුරක්ෂිත කිරීම සඳහා නැවත සෙවිලි කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා.’’ යනුවෙන් ඔහු සඳහන් කරයි.

    ‘‘තේ කර්මාන්තය ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ක්ෂේත‍්‍රයක් බැවින් ඵලදායී ශ‍්‍රම බලකායක් පවත්වාගෙන යාමේ අභියෝගය ඉතා වැදගත්. වතුකරයේ සිදු කළ ක්ෂේත‍්‍රය දෙස සුභවාදීව බැලීම අත්‍යවශ්‍ය වනවා’’ යනුවෙන් ඔහු පැවසුවේය.

    ‘‘වැවිලි මානව සංවර්ධන භාරය එහි වතු කම්කරුවන් සඳහා අවශ්‍ය නිවාස යටිතල පහසුකම් සංවර්ධනය, සෞඛ්‍ය හා සමාජ සුභසාධනය වෙනුවෙන් කැපවී සිටිනවා.’’ යනුවෙන් සඳහන් කරන බුළුමුල්ල මහතා කොවිඞ්-19 වසංගතය නිසා ඇති වූ පසුබෑම හේතුවෙන් සුළු ප‍්‍රමාදයන් මධ්‍යයේ වුවද අදාල ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙමින් පවතින බව ද පවසයි. ‘‘කෙසේවෙතත්, බොහෝ අංශයන් හි අප මුහුණ දෙමින් සිටින අභියෝග නොතකා මෙම න්‍යාය පත‍්‍රයට අනුව ක‍්‍රියා කිරීම ප‍්‍රමුඛතාවයයි’’.