වයස 35 දී ශ්‍රී ලංකන් පනින අළුත් පිම්ම

    September, 1, 2014

    35 වන වසර සපුරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරන්නේ සිය යානා ඇණියට පළමු A330-300 ගුවන් යානය ලබන ඔක්තෝම්බර් මාසයේදී එක්කරන බවත් එය සිය මගීන්ට අළුත් අත්දැකීමක් වනු ඇති බවයි.

    ශ්‍රී ලංකන් ගුවන් යානා ඇණිය අළුත් කිරීම යටතේ පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානා 06 ක් සහ A 350 -900 ගුවන් යානා 07 ක් මිලදී ගැනීමට සමාගම සූදානම් වේ. මේ යටතේ දෙවැනි A330-300 ගුවන් යානය ශ්‍රී ලංකන් වෙත ලබන දෙසැම්බර් මාසයේදී පමණ ලැබීමට නියමිතය.

    මේ අතර, ශ්‍රී ලංකන් වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ නවතම සාමාජිකයා වශයෙන් (oneworld global airline alliance) සිය 35 වන සංවත්සරය කටුනායක ගුවන් සේවා මූලස්ථානයේදී අද (01) සමරන ලදී.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්ෂ 1979 දී ආරම්භ වූ අතර මේ වනවිට සිය ගෝලීය ගුවන් ජාලය ව්‍යාප්ත කරමින් රටවල් 44 ක ගමනාන්ත 89 ක් දක්වා ගුවන් මෙහෙයුම් සිදුකරනු ලබයි. සතියකට ගුවන් ගමන් වාර 260 ක් මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ සිට සිදු කරන අතර ඒ සඳහා එයාර්බස් වර්ගයේ ගුවන් යානා 21 ක් යොදා ගනු ලබයි.

    ඉදිරියේදී ගුවන් සේවා නඩත්තු සහ අලුත්වැඩියා (MRO) පහසුකම් සපයා දීම වෙනුවෙන් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළේ නඩත්තු සහ අලුත්වැඩියා (MRO) අංශයක් ස්ථාපිත කිරීමටද ගුවන් සමාගම බලාපොරොත්තු වේ.