වසරකට ලක්ෂ 750ක් ඉතිරි කරගන්න ශ්‍රීලංකන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් කටුනායකට යයි

    July, 4, 2019

    කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති සියළුම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයතනික කාර්යාල කටුනායක පිහිටි එහි ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ගෙන යාමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරණය තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

    මෑත කාලීනව මාධ්‍ය වාර්තාවල පළ වූ අයුරින් ප්‍රධාන විකුණුම් සහ පාරිභෝගික මෙහෙයුම් කිසිවක් නැවත ස්ථානගත නොකෙරෙන අතර අපගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා සුපුරුදු පරිදි එම ආයතන ක්‍රියාත්මක වන බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය අවධාරණය කර සිටියි.

    ඒ අනුව, ශ්‍රී ලංකන් විකුණුම් අංශය, ෆ්ලයිස්මයිල්ස්, ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය සහ ගුවන් භාණ්ඩ විකුණුම් කාර්යාල ඔවුන්ගේ වර්තමාන ස්ථානවල සිට අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. එනම් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 3 වන මහළ, අයිස්ලන්ඩ් ගොඩනැගිල්ල කොළඹ 03 සහ ඩි වොස් මාවත - කොළඹ 4 යන ස්ථාන වල පිහිටි සේවා ස්ථාන ඉදිරියටත් පහසු සහ සෘජු පාරිභෝගික සේවයක් සපයනු ඇත.

    මෙම මුලපිරීම නිසා වසරකට දළ වශයෙන් රුපියල් මිලියන 75 ක පිරිවැයක් ඉතිරි වන අතර අපගේ පසු කාර්යාල කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇත. කාර්යාල නැවත ස්ථානගත කිරීම ජුනි 28 වන දින ආරම්භ වූ අතර එය අගෝස්තු මස මැද භාගය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.