April, 6, 2018
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අද (06) දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,455.32 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට වඩා 19.38 ක පහළ යාමකි.
දිනය අවසානයේ දී දක්නට ලැබුණු විශේෂිතම සිදුවීම වූයේ රුපියල් මිලියන 134.58 ක දෛනික පිරිවැටුමක වාර්තා වීමයි. මෙය 2018 වසරේ මේ දක්වා කාලය තුළ තනි දිනක දී වාර්තා වූ අඩුම ගනුදෙනු පිරිවැටුම ලෙසින් වාර්තා වේ. වසරේ මේ දක්වා කාලය තුළ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.2 ක් ලෙසින් වාර්තා වන අතර අද දින පිරිවැටුම ඊට සාපේක්ෂව බෙහෙවින් අඩු අගයක් ගැනීම විශේෂත්වයකි.
දිනය තුළ සාකච්ඡා කළ ගනුදෙනු (Crossings) කිසිවක් වාර්තා නොවූ අතර වැඩිම පිරිවැටුමක් වාර්තා වූයේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් ගනුදෙනුවලිනි. එය මිලියන 17.62 ක්වූ අතර යුනයිටඩ් මෝටර්ස් කොටස් ගනුදෙනුවලින් රුපියල් මිලියන 11.55 ක පිරිවැටුමක් වාර්තාවිය. මීට අතරව සෙසු කිසිදු සමාගමක් හෝ කොටස් ගනුදෙනු රුපියල් මිලියන 10 සීමාව ඉක්මවා යාමට සමත් නොවීය.
අද දිනයේ දී ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගමේ (කැල්ටෙක්ස්) කොටසද් මිල රුපියල් 100 සීමාවෙන් මෙපිටට පැමිණීම කැපී පෙනෙන කරුණකි. දිනයේ දී ෂෙව්රොන් ලුබ්රික්න්ට්ස් කොටසක අවසාන ගනුදෙනු මිල රු. 100.10 ක් ලෙසින් සටහන් වූ අතර දිනය තුළ සටහන් වූ එහි අවම ගනුදෙනු මිල රු. 99.90 ක් විය. මෙය 2016 ජූනි 13 දින සිදුකරන ලද ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් කොටස් ඛණ්ඩනයෙන් (Split) පසු කොටසක් සඳහා වාර්තා වූ අවම ගනුදෙනු මිල වන අතර 2009 ජනවාරි 21 න් පසු වාර්තා වූ අවම ගනුදෙනු මිල ලෙසින් ද මෙය වාර්තා වේ.
අද (06) දිනෙන් අවසන් වූ සතිය තුළ දී වාර්තා වී තිබෙන සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.15 කි. මෙහිදී රුපියල් බිලියන 1.12 ක දේශීය මිල දී ගැනීම් සහ රු.බි. 2.85 ක දේශීය විකිණුම් සටහන් වී තිබේ. සතිය තුළ විදේශීය මිල දී ගැනීම් රු.බි. 4.03 ක් ලෙසින් සටහන් වන අතර විදේශීය විකිණුම් රු.බි. 2.30 ක් ලෙසින් වාර්තා විය.
Video Story