වසර 10 ක් තුළ කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වෙයි

    January, 4, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම අද (04) දිනය අවසානයේ දී රුපියල් මිලියන 68.77 ක් ලෙසින් වාර්තා විය.

    රුපියල් මිලියන 64.3 ක් වශයෙන් 2009 අප්‍රේල් 28 දින වාර්තා වූ දෛනික පිරිවැටුමෙන් පසු, පසුගිය වසර 10 ක කාලය තුළ කොටස් වෙළෙඳපොළේ වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම ලෙසින් මෙය වාර්තා වේ.

    තිස් අවුරුදු යුධ සමයේ අවසාන භාගය වූ 2009 වසරේ අප්‍රේල් - මැයි කාලපරිච්ඡේදය තුළ දී, කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් පහළ මට්ටමක පැවතීම, 2009 අප්‍රේල් 28 දින ඉහත කී ආකාරයේ ඉතා පහළ මට්ටමක දෛනික පිරිවැටුමක් වාර්තා වීමට හේතු වුණු බව අප කළ විමසීමක දී කොටස් තැරැව්කාර සමාගමක ආයෝජන උපදේශකවරයෙකු විසින් සඳහන් කර සිටියේය. කෙසේ වෙතත් 2009 මැයි 19 දින රටේ පැවති යුධමය වාතාවරණය අවසන්වීමත් සමඟම 2009 වසර තුළ දී 126% කින් හා 2010 වසර තුළ දී 96% කින් කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා විය.

    මේ අතර 2014 මාර්තු 17 දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 90.93 ක් ලෙසින් සටහන් වූ අතර ඉන් පසු රුපියල් මිලියන 100 ට වඩා අඩු දෛනික පිරිවැටුමක් වාර්තා වූයේ අද දිනයේ දීය.