වසර 2 ක් තුළ දී ඩොලරයට ගෙවන මිල රු. 140 දක්වා ගෙන ඒමේ වගකීම බන්දුල භාර ගනී

    November, 26, 2018

    අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් පසු වසරක් ඇතුළත දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවන මිල රුපියල් 160 දක්වාත්, දෙවන වසර තුළ දී රුපියල් 140 දක්වා ත් ගෙන ඒමේ වගකීම තමන් විසින් භාර ගන්නා බව ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ (25) හෝමාගම පැවති ජනහමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

    “එහෙම එක දවසකින් ඩොලර් කඩා ගෙන වැටෙව එක නතර කරන්න බැහැ. ඒ සඳහා රට ඇතුළට එන මුදල්, විදේශ විනිමය ප්‍රමාණය, රට සල්ලි ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. රටින් පිටට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරන්න ඕනේ.“

    “ඒ සඳහා වෙන වගකීම, ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත් මහා වෙත පවරලා තියෙනවා. ඒ අනුව අපි නියත වශයෙන් මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. මේ රටින් පිටට ගලා යන විනිමය ප්‍රමාණය අඩු කරලා, රට ඇතුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කරලා, අයවැය ලේඛනයක් ඉදිරිපත් කරලා, පළවෙනි අවුරුද්ද ගත වෙන කොට මේ රුපියලේ අගය නැවත 160 ටත්, දෙවෙනි අවුරුද්ද වෙන කොට රුපියල ඩොලරයට ගෙවන මිල 140 දක්වාත් ගෙන ඒමේ වගකීම අපි භාර ගන්නවාය කියන ටික මා මේ අවස්ථාවේ දී මතක් කරන්න කැමතියි. ඒ සඳහා අපිට වැඩපිළිවෙලක් තියෙනවා.“