වසර 25 ක් සේවය කළ කොමර්ෂල් බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට බුහුමන් පුදයි

    January, 16, 2020

    දිගු කාලීනව සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීම සඳහා කොමර්ෂල් බැංකුව 2019 වසරේදී පැවැත්වූ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන වැඩසටහන මගින් වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජිකයින් 86  දෙනෙකු වෙත බුහුමන් පුදකිරීම පසුගියදා සිදුකරන ලදී.

    “Celebrating 25 years of shared prosperity and achievement” යන තේමාවෙන් යුතුව අති උත්කර්ශවත් අයුරින් සංවිධානය කර තිබුණු මෙම උත්සවය කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී විය. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ආයතනික කළමණාකාරිත්වයේ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබුණි.

    මෙහිදී, සේවය අගයමින් සෑම සේවකයෙකු සඳහාම වටිනා ත්‍යාගයක් සහ සහතික පත‍්‍රයක් බැංකුව විසින් ප‍්‍රදානය කරන ලදී. මෙම දිගුකාලීන සේවා සම්මාන ලබාගත් පිරිසෙන් බොහෝ දෙනෙකු 1994 වසරේදී බැංකුවට සම්බන්ධ වී තිබෙන්නේ පාසැල් අධ්‍යාපනය අවසන් කරනවාත් සමගමයි. ඔවුන් මේ වන විට බැංකුවේ විවිධ දෙපාර්තමේන්තු සහ ශාඛාවල විවිධ තනතුරු දරන අතර බැංකුවේ වර්ධනයට විශාල දායකත්වයක් ලබාදී ඇත. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයෙන් පසුව පැවැත්වූ සැමරුම සඳහා මෙම සම්මාන ලබාගත් අයගේ පවුල්වල සාමාජිකයින්ටද ආරාධනා කර තිබුණි.

    මෙහිදී අදහස් දැක්වූ කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා මෙම සේවකයින් බැංකුව වෙනුවෙන් කළ දිගුකාලීන පක්ෂපාතී සේවයට ඉහළම කෘතඥතාවය පළකරන ලදී. ඔවුන්ට මෙතරම් සේවයක් කිරීමට සහයෝගය ලබාදුන් පවුලේ සාමාජිකයින්ටද සභාපතිතුමා මෙහිදී ස්තූතිය පුද කළේය.

    2019 වසරේදී අභාවප‍්‍රාප්ත වූ බැංකුවේ සේවකයින් සිහිපත් කරමින් සම්මාන ප‍්‍රදානෝත්සවය අවස්ථාවේ විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමද මෙහිදී කැපී පෙනුණි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම නව වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට බැංකු ශාඛා 267 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 856 ක් පවත්වාගෙන යයි. 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට බැංකුව සමත්ව තිබෙන අතර මේ වසරේදී මේ දක්වා සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගෙන තිබේ. එසේම, 2019 වසරේදී මෙරට ගෞරවණීයම සමාගම් 10 අතරට තේරී පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්විය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.