ව්‍යාපෘති නොවන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

    August, 19, 2022

    "සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහතික කිරීම සහ සෑම වයස් කාණ්ඩයකම සැමට යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම" තිරසාර ආර්තික සංවර්ධන අභිමතාර්ථයයි. ඒ යටතේ " වසර 2030 වනවිට වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම තුළින් බෝ නොවන  රෝගවලින් සිදුවන අකල් මරණ තුනෙන් එකකින් අඩු  කිරීම" ඉලක්කගත කර ඇත. ඒ අනුව, ව්‍යාපෘති නොවන ආධාර කුමය යටතේ ජපාන රජය විසින් ශ්‍රී ජයවර්ධනපුර රජයේ  රෝහලේ බෝ නොවන රෝග සත්කාර ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ශිල්පීය ආධාර ලබාදීම සිදු කරනු ලබයි.

    ඒ යටතේ, Angio-CT යන්ත්‍රයක් සහ අනිකුත් විකිරණ උපකරණ, අක්ෂි උපකරණ, ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටල, දන්ත වෛද්‍ය ඒකක 15ක්, අක්මා බද්ධ කිරීමේ උපකරණ කට්ටලයක්, හෘද කැතීටරීකරණ රසායනාගාරයක් ප්‍රදානය කෙරේ. එමගින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ‍බෝ නොවන රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබන රෝගීන් වෙත ලබාදෙන සත්කාර වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, මෙම වෛද්‍ය උපකරණ හා ශිල්පීය ආධාර ප්‍රදානය මගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හා ශ්‍රී ජයවර්ධනපුර ජාතිත හෙද විද්‍යාලයේ සිසුන් වෙත ඉහළ ගුණාත්මක වෘත්තීය වෛද්‍ය පුහුණු අවස්ථා හිමිවන අතර එමගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් මානව සම්පත් සංවර්ධනය සඳහා ඉඩ ප්‍රස්තා හිමිවනු ඇත.

    ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව, ජපන් යෙන් මිලියන 500 (රු. මිලියන 1265) ක වෛද්‍ය උපකරණ හා ශිල්පීය ආධාර ලබාදීමට ජපාන රජය එකඟතාවය පල කර ඇත.

    ඉහත ප්‍රදානයට අදාළ සටහන් හුවමාරුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජයේ තානාපති, අතිගරු මිසුකෝෂි හිදෙයෙකි මහතා විසින් 2022 අගෝස්තු 18 දින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදි.