වාද්දූවේ සෙරීන් පැවිලියන්ස් කොටස්කරුවෝ සමථයකට පත්වෙති

    May, 27, 2015

    වාද්දූවේ පිහිටි සෙරීන් පැවිලියන්ස් (Serene Pavilions) හෝටලයේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තිබුණු ගැටලු සමථයකට පත්කර ගැනීමට හෝටලයේ කොටස්කරුවන් සමත්වී තිබේ.

    මේ අනුව, මෙම හෝටලයේ සියයට 30 ක කොටස් හිමිකාරීත්වයක් හිමිව තිබුණු අනුර ලොකුහෙට්ටි මහතා පසුගියදා තමන් සතුවූ කොටස් සියල්ල සුමිත් ගුරුගේ සහ ජිට් වර්ණකුලසූරිය යන කොටස්කරුවන් දෙදෙනාට අලෙවිකළ බව සුමිත් ගුරුගේ මහතා අප සමග සඳහන් කළේය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ තිබුණු ගැටලු සමථයකට පත්කර ගනිමින් සිදුවූ මෙම කොටස් විකිණීමෙන් පසුව මෙම හෝටලයේ කොටස් අයිතියෙන් සියයට 30 ක් තමාටත් සියයට 27 ක් ජිට් වර්ණකුලසූරිය මහතාටත්, සියයට 38 ක් බ්‍රිතාන්‍යය ජාතික ක්ලයිව් ලීච් මහතාටත්, සියයට 05 ක් ඉන්දියානු ජාතික ගෞතම් රාඩියා මහතාටත් මේ වනවිට අයත්වන බවයි.

    2013 සැප්තැම්බර් මාසයේදී නිවේදනයක් නිකුත් කරමින් හෝටලයේ අධ්‍යක්ෂවරුන් වන සුමිත් ගුරුගේ මහතා සහ ජිට් වර්ණකුලසූරිය මහතා පවසා තිබුණේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා 2004 වසරේදී සම්පූර්ණ ප්‍රාග්ධනය යෙදවූයේ 80 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික ක්ලව් ලීච් මහතා බවයි.

    මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ක්ලව් ලීච්, ස්ටෙෆනි ලීච්, අනුර ලොකුහෙට්ටි, ඩිලනි ලොකුහෙට්ටි, ජිට් වර්ණකුලසූරිය හා සුමිත් ගුරුගේ යන මහත්වරුන් එකළ ඇතුළත් වූ බව එම නිවේදනයේ දක්වා තිබුණි.

    කෙසේවෙතත්, නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ගැනීම සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය අධිකරණය දක්වා ගිය අතර දෙපාර්ශවය විසින් එකිනෙකාට විරුද්ධව නඩු කිහිපයක්ම ගොනු කිරීමට පසුගිය කාලයේදී කටයුතු කර තිබුණි.

    මෙම හෝටලයේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තිබූ ගැටලු නිරාකරණය කරගනිමින් සිදුවූ මෙම කොටස් විකිණීමේ ගිවිසුමට අනුව මෙම නඩු ඉවත් කර ගැනීමට දෙපාර්ශවයම කටයුතු කර ඇත.