වාරික හිඟ හිටි වාහන බලෙන් අත්පත් කර ගන්න ලීසිං සමාගම්වලට පුළුවන් ද?

    June, 12, 2020

    ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයෙන් පසු මේ වන විට සමාජය තුළ, කල් බදු ලීසිං සමාගම් වෙත වාහන අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පවත්නා නීතිමය තත්ත්වයන් පිළිබඳ කතිකාවක් ඇති වී තිබේ. කල් බදු පහසුකම යටතේ ලබාගෙන ඇති වාහනයක, වාරික හිඟ හිටි අවස්ථාවක අදාළ  සමාගම විසින් සිය වාහන අත්පත් කරගන්නන් යොදවා, එම වාහන බලෙන් රැගෙන යාම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිදුවීමකි. ඇතැම් අවස්ථාවල දී මෙම වාහන අත්පත් කරගන්නන් විසින් ගිනි අවි පෙන්වා බිය වැද්දීම් ද සිදුකරන අතර, පහරදීම් සිදුවන අවස්ථා ද වාර්තා වේ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නීතිය අනුව එයාකාරයෙන් වාරික හිඟ හිටි වාහනයක් බලෙන් අත්පත් කර ගැනීමට අදාළ බදු දීමනාකාර පාර්ශවයට හෙවත් කල්බදු සමාගමට බලයක් තිබෙනවා ද?

    මේ සම්බන්ධයෙන් පවත්නා නීතිමය තත්ත්වය පිළිබඳව, ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා ඇත. එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

    ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය සිදු වූ අවස්ථාවේ ඡායාරූපයක් ඉහතින් දැක්වේ.


    කල්බදු මූල්‍යකරණය (Finance lease) යටතේ ලබා දුන් වාහනයක සන්තකය ලීසිං සමාගමක් වෙත ආපසු ලබාගත හැකි නෛතික ක්‍රමවේදයන් සහ නීති විරෝධී අත්පත් කර ගැනීමක නෛතික ප්‍රථිපල.

    මේ යටතේ වන ප්‍රතිපාදන 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනතෙහි විස්තර වන අතර, ඒ යටතේ එකී පනතෙහි 20 වන සහ 21 වන වගන්තීන්හි විස්තර කර ඇති ප්‍රතිපාදන ප්‍රකාරව, බදු ගැනුම්කරු විසින් අදාල කල්බදු වාරික සම්බන්ධයෙන් සෑහෙන පැහැරහැරීමක් සිදු කර ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල් කඩිනමින් ගෙවන ලෙසට වන දැන්වීමක්, එකී පැහැර හැරීමට පිලියම් යෙදීම සඳහා (එනම් ඊට අදාලව වන වාරික මුදල් ගෙවීම සඳහා) එකී දැන්වීම ලැබීමෙන් පසුව, දින 07 කට අඩු නොවන දිනයක් සඳහන් කරමින් බදු ගැනුම්කරු වෙත යැවීමෙන් අනතුරුව, ඊට අදාලව බදු ගැනුම්කරු විසින් පියවර ගැනීමක් සිදු කර නොමැති අවස්ථාවකදී පමණක් අදාල කල්බදු මූල්‍යකරණ ගිවිසුම අවසන් කර සපයන ලද වාහනයේ සන්තකය ආපසු ලබා ගැනීමේ හිමිකම කල්බදු දීමනාකරු (ලීසිං සමාගම) වෙත හිමිවේ.

    ඒ යටතේ එලෙස කල්බදු දීමනාකරු වෙත අදාල වාහනයේ සන්තකය ආපසු ලබා ගැනීමේ හිමිකම ක්‍රියාත්මක කළ හැකි ආකාරයන් 02 ක් පවතින අතර, එකී ආකාරයන් වනුයේ,

    අ). අධිකරණය මගින් සන්තකය ආපසු ලබා ගැනීම.(මේ සම්බන්ධයෙන් වන ප්‍රතිපාදන පනතේ 28 වන වගන්තියෙහි විස්තර කරනු ලැබ තිබේ.)

    ආ). ප්‍රතිරෝධයක් ඉදිරිපත් නොවන අවස්ථාවන්හිදී පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව අදාල වාහනයේ සන්තකය ලබා ගැනීම.

    ඒ යටතේ කරුණු සලකා බැලීමේදී, “ප්‍රතිරෝධයක් (resistance) ඉදිරිපත් නොවන අවස්ථාවකදී” යන්නෙන් අදහස් කරනු ලබන්නේ කුමන අවස්ථාවක් සම්බන්ධයෙන්ද යන්න සම්බන්ධයෙන් වන අර්ථ නිරූපනයක් එකී පනත තුල අන්තර්ගතව නොමැති වාතාවරණයක් යටතේ , පනතේ 27 වන වගන්තිය නිරවුල්ව කියවීම යටතේ ඊට අදාලව ව්‍යවස්ථාධායකයේ අරමුණ අප විසින් වටහා ගතයුතුව පවතී.

    ඒ අනුව ඊට අදාලව මාගේ අවධානය 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනතේ 27 වන වගන්තිය වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.

    27. A lessor who becomes entitled to recover possession of an equipment under this Act or under a provision of a finance lease, may –

    (a). notify such right to the officer –in-charge of the police station for the area within which the equipment is found;

    (b). obtain the assistance of a police officer of that police station to prevent a breach of the peace in the exercise of that right; and

    (c) recover passion of the equipment from the place where it is found, if possession could be obtained without resistance from the person in possession of the equipment or where it is not in the possession of any particular person, without resistance from any person.

    ඒ අනුව කරුණු සලකා බැලීමේදී, පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව කල්බදු දීමනාකරු (ලීසිං සමාගම) විසින්,

    අ). අදාල වාහනය පවතින ප්‍රදේශය තුල පිහිටි පොලිස් ස්ථානය භාර නිලධරයා වෙත තම හිමිකම සම්බන්ධයෙන් දැනුම් දීම,

    ආ). අදාල අයිතිවාසිකම ක්‍රියාත්මක කරලීමේදී සාමය කඩවීමක් වලක්වාලීම සඳහා එකී පොලිස් ස්ථානයේ පොලිස් නිලධරයෙකුගේ සහාය ලබා ගැනීම සහ,

    ඇ). ඒ යටතේ ප්‍රතිවිරෝධය පෑමක් නොමැතිව අදාල වාහනයේ සන්තකය ලබාගතහැකි නම්, ඒ අනුව සන්තකය ලබා ගැනීම සිදු කළහැකි බවට ඉතාමත් නිශ්චිතව එකී වගන්තිය යටතේ කරුණු සඳහන්ව ඇත.

    ඒ යටතේ කරුණු සලකා බැලීමේදී, උක්ත පනතේ 27වන වගන්තිය ප්‍රකාරව අදාල වාහනයේ සන්තකය ආපසු ලබා ගැනීම පිණිස වන තම හිමිකම නීත්‍යානුකූලව ක්‍රියාත්මක කරවා ගැනිමට අදාලව, එකී වාහනය පවතින ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී, පොලිස් නිලධරයෙකුගේ සහාය ලබා ගැනීම මත අදාල වාහනයේ සන්තකය ලබා ගැනීමට පියවර ගන්නා අවස්ථාවේදී, ඊට ප්‍රතිරෝධයපෑමක් හෙවත් විරෝධය දැක්වීමක් සිදු නොවෙන්නේ නම් පමණක් අදාල වාහනයේ සන්තකය කල්බදු දීමනාකාර සමාගම වෙත ආපසු ලබාගත හැකි වන බවත්, ඒ යටතේ ඉහතකී ප්‍රකාරව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී පොලිස් නිලධරයෙකු සමඟ වාහනයේ සන්තකය ආපසු ලබා ගැනීමට කටයුතු කරන අවස්ථාවකදී යම් ප්‍රතිරෝධය පෑමක් සිදු වූයේ නම් පොලිස් නිලධාරීවරයාට වුවද බලය යොදා එකී වාහනයේ සන්තකය බදු දීමනාකාර සමාගම වෙත ලබා දීම සඳහා සහය වීමක් කිසිසේත්ම සිදු කළ නොහැකි බවත්, එම අවස්ථාවේදී අදාල පොලිස් නිලධාරීවරයා විසින් සිදු කළ යුතු එකම රාජකාරිය වන්නේ සාමය කඩවීමක් සිදුවීම වැළැක්වීම පමණක් වන බවත් පැහැදිළිව පෙනී යයි.

    තවද, උක්ත පනතේ 30 වන වගන්තිය ප්‍රකාරව අදාල වාහනයේ සන්තකය ලබා ගැනීම පිණිස නීතියෙන් බදු දීමනාකාර සමාගමට ඇති වෙනත් අයිතිවාසිකම් සීමාකිරීමකට ලක්ව නොමැති බවට සඳහන්ව ඇති බැවින්, ඒ යටතේ බදු ගැණුම්කරු වෙත දැනුම් දී බදුගැණුම්කරු මාර්ගයෙන් අදාල වාහනය බදු දීමනාකාර සමාගම වෙත ලබාගැනීමේ කිසිදු නෛතික බාධාවක් බදු දීමනාකාර සමාගම වෙත නොමැති නමුදු, ඉහතකී පනතේ 30 වන වගන්තිය යටතේ බදු ගැණුම්කරුගේ ප්‍රතිරෝධය පැවතියදී බලහත්කාරයෙන් එකී සන්තකය දරන්නා මහ මඟ ඇදදමා එකී වාහනයේ සන්තකය ලබා ගැනීම හෝ පුද්ගලික පරිශ්‍රයක් වෙත එම අයගේ අවසරය ඒ සඳහා ලබා ගැනීමකින් තොරව අයුතු ලෙස ඇතුල්වී බලහත්කාරයෙන් එකී වාහනයේ සන්තකය ලබා ගැනීම හෝ සන්තකය දරන්නා වෙත දැනුම් දීමකින් තොරව යම් ස්ථානයක අදාල රථය නවත්වා තිබියදී හොර රහසේ එකී රථය රැගෙන යාම සම්බන්ධයෙන් වන කිසිදු හිමිකමක් පනතේ 30 වන වගන්තිය ප්‍රකාරව නීතියෙන් බදු දීමනාකාර සමාගම වෙත ලබාදී නොතිබියදී, එම ක්‍රමවේදයන් හරහා කටයුතු කිරීම් මඟින් පහත සඳහන් අපරාධ වැරදි වන අයුතු ලෙස ඇතුළු වීම, අයුතු අවහිරය, තුවාල සිදු කිරීම, බලෙන් ලබා ගැනීම මෙන්ම සොරකම හෝ කොල්ලකෑම නමැති වැරදි සංස්ථාපනය වීමක් සිදුවන බැවින්, එකී වාහනය එම අපරාධ නඩුවට අදාලව නඩු භාණ්ඩයක් බවට පත්වීමේ පදනම මත, අදාල වාහනය නැවත අධිකරණයේ භාරයට පත් කර, ඒ වන විට උක්ත පනතේ 20 වන හා 21 වන වගන්ති ප්‍රකාර නොතීසි යවා අදාල කල්බදු ගිවිසුම අවලංගු කරලීමක් නිසි පරිදි සිදු කර ඇති බව ලේඛනමය සාක්ෂි සහිතව ඔප්පු වන්නේ නම් පමණක් ඒ අනුව ඉහතකී වාහනයේ සන්තකය නැවත ලබා ගැනීමේ හිමිකම කල්බදු දීමනාකාර සමාගම වෙත පැවතීමේ පදනම මත අධිකරණය විසින් බැඳුම්කරයක් මත (නඩුව අවසන් වන තෙක් ) එකී වාහනය කල්බදු දීමනාකාර සමාගම වෙත මුදවා හැරීමටත්, නොඑසේවීනම් කල්බදු ගැණුම්කරු වෙත අදාල වාහනයේ සන්තකය බැඳුම්කරයක් මත (නඩුව අවසන් වන තෙක් ) ලබාදීමටත් අධිකරණය වෙත හැකියාව පවතී.

    ඉහත කී ප්‍රකාරව අනීතික ක්‍රම වේදයන් යටතේ කටයුතු කරලීම සම්බන්ධයෙන් ස්ථාපිත වන්නාවූ අපරාධ චෝදනා සම්බන්ධව අදාල කල්බදු දීමනාකාර සමාගමේ නිලධාරීන් වෙත චෝදනා නැගිය හැකි වන්නේද ?

    ඒ යටතේ කරුණු සලකා බැලීමේදී මා විසින් ඉහතින් පැහැදිළි කරන ලද පරිදි අනීතික ක්‍රම වේදයන් ඔස්සේ අදාල වාහනයේ සන්තකය ලබා ගැනීමේදී බලෙන් ලබා ගැනීම, සොරකම හෝ කොල්ලකෑම නමැති වැරදි සංස්ථාපනය වනබැවින්, එකී වැරදි සිදු කරලීම පිණිස අනුබලදීම (Abetment) නමැති වරද එලෙස අනීතික ආකාරයෙන් අදාල වාහනයේ සන්තකය ලබා ගැනීම සඳහා එකී වැරදි සිදු වන බව දැන දැනම පුද්ගලයින් මෙහෙයවනු ලබන හා ඊට අනුමැතිය ලබා දෙන අදාල කල්බදු දීමනාකාර සමාගමේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන්නේදැයි මා විසින් පහත සඳහන් පරිදි සලකා බලමි.

    ඒ යටතේ කරුණු සලකා බැලීමේදී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 100 වන වගන්තිය වෙත සහ ඒ යටතේ වන තෙවන පැහැදිළි කිරීම වෙත මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 103 වන වගන්තිය වෙත මාගේ අවධානය පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.

    "100. - A person abets the doing of a thing who –

    Firstly - Instigates any person to do that thing; or

    Secondly - Engages in any conspiracy for the doing of
    that thing; or

    Thirdly - Intentionally aids, by any act or illegal
    Omission, the doing thing,“

    Explanation 3

    “However, either prior to or at the time of the commission of an act does anything in order to facilitate the commission of act, and thereby facilitates the commission thereof, is said aid, he doing of that act”.

    “103 Whoever abets the commission of an offence shall, If the person abetted does the act with a different intention or knowledge from that the abettor, be punished with the punishment provided for the offence which would have been committed if the act had been done with the intention or knowledge of the abettor and with no other.”

    ඒ යටතේ කරුණු සලකා බැලීමේදී කිසියම් කල්බදු දීමනාකාර සමාගමක නිලධාරියෙකු විසින් නීත්‍යානුකූල නොවන ක්‍රම වේදයකට අදාලව වාහනය අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු වෙත බලය පවරනු ලැබ ඇත්නම්, එනම් අදාල අත්පත්කර ගැනීමේ බලය පැවරුම් පත්‍රයේ (Seizing Order ) නීත්‍යානුකූලව පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව වාහනයේ සන්තකය ලබාගත යුතු ආකාරය ප්‍රකාශිතව දක්වනු ලැබ ඇති නොමැති නම් හෝ ඒ සම්බන්ධයෙන් අදාල බලය පවරනු ලබන පුද්ගලයින් වෙත වාචිකව හෝ උපදෙස් ලබාදීමක් සිදු කර නොමැති නම්, ඒ අනුව නීත්‍යානුකූල නොවන ක්‍රම වේදයකට අදාල වාහනයේ සන්තකය එකීබලය පවරන ලද පුද්ගලයින් විසින් අත්පත් කරගනු ඇති බවට වන දැනුම එකී අත්පත්කර ගැනීමේ බලපත්‍රයට අත්සන් තබන නිලධාරීවරයා වෙත පවතින බැවින්, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 103 වන වගන්තිය සමඟ එක්ව ගෙන කියවිය යුතු චෝදිත වරදට අදාල දඬුවම් වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් එකී අය විසින් සිදු කරලීම මත, ඊට අදාලව එකී කල්බදු සමාගමේ නිලධාරීවරයාට එරෙහිවද නඩු පැවරීමේ හැකියාව පැමිණිල්ල සතුව පවතී.

    අනීතික අත්පත් කර ගැනීමේ ක්‍රම වේදයන් යටතේ වන සිවිල් නීතියේ ප්‍රතිකර්ම.

    ඒ යටතේ කරුණු සලකා බැලීමේදී,

    අ) 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 20 වන හා 21 වන වගන්ති ප්‍රකාරව නිසි පරිදි පියවර ගැනීමකින් තොරව අදාල වාහනයේ සන්තකය නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයක් යටතේ ලබාගෙන ඇත්නම්, ඊට අදාලව සිදු වන ලද හානි සම්බන්ධයෙන් වන සෘජු වගකීම යටතේ මෙන්ම,

    ආ) නීත්‍යානුකූල නොවන ක්‍රම වේදයක් යටතේ අදාල වාහනයේ සන්තකය ලබා ගැනීමේදී යම් ශාරීරික හෝ දේපළ හානියක් සිදු වන ලද්දේ නම්, ඊට අදාලව වන ප්‍රතිපුරුෂ වගකීම ( Vicarious Liability ) යටතේ, හානියටපත් ( අලාභ සිදු වන ලද) එකී වාහනයේ කල්බදු ගැණුම්කරුට, කල්බදු දීමනාකාර සමාගමට එරෙහිව ඒ යටතේ උත්පාදනය වන නඩු නිමිති යටතේ නඩු පවරා වන්දි ලබා ගැනීමේ හිමිකම පවතී.