වාහන ආනයනයට අවසර දෙන විට වැඩි ප්‍රමුඛතාවය ඉලෙක්ට්‍රික් වාහනවලට

    April, 5, 2021

    මේ වන විට ලෝකයේ ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් තිබෙන බවත්, යම් දිනයක තම රජය විසින් වාහන ආනයනය සඳහා අවසර ලබා දුනහොත්, ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් යොමුකරනු ලබන බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අද (05) දින පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    පා.ම. මුසම්මිල් - දැනට ලංකාව ඇතුළේ වාහන එකලස් කිරීම හා මේ සඳහා යම් අගය එකතු කිරීමේ කර්මාන්ත සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කරන්න රජයේ අවධානය යොමු වෙලා තියෙනවාද?

    රාජ්‍ය අමාත්‍ය කබ්රාල් - අපේ රජය වාහන එකලස් කිරීම හා වාහන අගය එකතු කිරීම පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. ඉදිරි අනාගතයේ  දී යම් ආයෝජන රටට ගලා එන්නට අපි කටයුතු කරගෙන යනවා. දැනට ඒවා සාකච්ඡා මට්ටමේ තිබෙනවා. නොබෝ දිනකින් මේ සාකච්ඡා හරහා ඒ කටයුතු සිදුවෙන්නට ඉඩ තිබෙනවා.

    පා.ම. මුසම්මිල් - පසුගිය ආණ්ඩුව යටතේ පරිසර හිතකාමී වාහන සඳහා විශාල වශයෙන් අමතර බදු අයකර ගැනීමක් කළා. විශේෂයෙන් ඉලෙක්ට්‍රික් වාහන සහ හයිබ්‍රිඩ් වාහන සඳහා. ඇත්තටම පරිසර හිතකාමී විදියට හිතනවා නම් මේ වාහන තමයි ලංකාවට ගෙන්වීම සඳහා අවස්ථාව දෙන්න ඕනේ. මම දැක්ක ඔබතුමාගේ ප්‍රකාශයක්, මේ වසර අග වෙන විට වාහන ආනයනය සඳහා සීමාවන් ඉවත් කිරීමට යම් හැකියාවක් තියෙනවා ද බලනවා කියලා. එහෙම වුණොත් රජය වශයෙන් පරිසර හිතකාමී ඉලෙක්ට්‍රික් වාහන සහ හයිබ්‍රිඩ් වාහනවලට ප්‍රමුඛතාවය දීම සඳහා ඔබතුමා ක්‍රියාත්මක වෙනවාද?

    රාජ්‍ය අමාත්‍ය කබ්රාල් - අද ලෝකයේ බොහෝ රටවල් ඉලෙක්ට්‍රික් වාහන පිළිබඳව වැඩි සැලකිල්ලක් යොදවලා තියෙනවා. මං හිතන්නේ අපේ රටේත් එවැනි දෙයක් සිදුවිය යුතුයි. අපි යම් දිනයක වාහන ආනයනය කිරීමට අවසර දෙන විට අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙන බව මතක් කර දෙන්නට කැමතියි. අපේ රට තුළ යම් ආකාරයකට වාහන නිෂ්පාදනය කිරීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම රට තුළ අගය එකතු කිරීමත් අපිට ඉතාමත් හොඳින් කළ හැති අවකාශයකුත් තිබෙනවා. විශේෂයෙන්ම ටයර්, සීට්, ඒ වගේ දේවල් අපේ රටේ කරන්න පුළුවන්. ඒ ගැනත් අපි සැලකිලිමත් වෙලා තියෙනවා. ඒ සියලුම අංශයන් ඔස්සේ කොවිඩ් වසංගතය නිසා එක් හොඳක් ලෙස අපේ රටේ ව්‍යාපාරිකයන් බොහොම උනන්දුවකින් කටයුතු කරනවා කියන්න පුළුවන්. ඒ නිසා ඒ හරහා අපිට මෙවැනි කර්මාන්ත දියත් කරන්න හැකිවෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රජයේ දැඩි අවධානය යොමුකරනවා.

    මේ අතර 2015 සිට 2019 දක්වා වසර 5 තුළ දී වාහන ආනයනය සඳහා වියදම් කර තිබෙන මුළු මුදල රු. බිලියන 1239 ක් හෙවත් රු. ට්‍රිලියන 1.239 ක් බවත්, රටවල් 103 කින් වාහන ආනයනය කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා අද දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.